free statistics

කොරෝනා මඩින්නට, දුරු කරන්නට, පෙනහලු රකින්න හැදූ කරාපිටිය ‍දොස්තරලාගේ අමුතු හෙළ ඔසු කරල


7 shares

තුන්වන රැල්ලේ කොරෝනා අවදානම දැන් දැන් අපේ නිවස අද්දරට ම ඇවිත්.

වෙන දාටත් වඩා වැඩි බලපෑමකින් පැතිරී යන නව කොරෝනා වසංගතය ඉදිරියේ අපේ පරිස්සම ඉතා වැදගත්.

මේ කාරණය මතක් කරමින් අපි ඔබට කියන්නට හදන්නේ කොරෝනා මඩින්නට, දුරු කරන්නට හැදූ අමුතු ම විදිහේ ඖෂධයක් ගැනයි. මේ ඖෂධයේ එහෙමත් නැත්නම් මේ බෙහෙත් කරල හැදූ ගෞරවය හිමි වන්නේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන ඇතුළු කණ්ඩායමකට. එහි ඇති අනිත් සැලකිය යුතු ම විශේෂත්වය තමයි ඒ කරලට උපයෝගි කරගත් සියලු දේ ආයුර්වේද විද්‍යාවට අනුකූල වීම.

පැණියක් නිසා සැක සංකාවෙන් බලන සමාජයකට මේ වගේ පණිවුඩයක් ලබාදීම ඉතාම අසීරුයි. ඒත් අපි මේ දේශීය වට්ටෝරුවකින් නිපැයූ කරල ගැන අහන්නට වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාව හමු වුණා. ඔහු දැනට ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝගී අංශයේ රාජකාරි කරනවා.

“ඇත්තටම මේක මේ හදිසියේ නිපැයූ ටැබ්ලට් එකක් නෙමෙයි. අපි පර්යේෂණ ගණනාවක් කරල කාලයත් අරගෙන හැදූ එකක්.

මේ ටැබ්ලට් එක හදන්න දැනට රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන මගේ වැඩිමහල් සහෝදරයා නන්ද ගුණවර්ධන වගේ ම වෛද්‍ය රුවන් සංජීව, වෛද්‍ය කාන්තිකා විජේසේකර එකතු වුණා.”

වෛද්‍ය සම්පත් අපේ කතා බහට එකතු වුණේ ඔන්න ඔය විදිහට.

“මේ ටැබ්ලට් එක හදන මුල් අඩිතාලම අපේ හිත්වලට ඇතුළු වුණේ ඇමෙරිකාවේදී ලද අත්දැකීමක්. අපි එහිදී දැක්ක පිළිකා රෝගීන්ට, පිළිකා නසන්න දෙන එන්නත් කරන ඖෂධයක්. මේ ඖෂධය ඔවුන් හදලා තිබුණේ ශාකසාරවලින්. එතැනදී තමයි අපි කල්පනා කළේ, අපේ තිබෙන ශාකසාරවලින් ඔවුන් ඖෂධ හදද්දී අපි නිකම් ඉන්න එක ගැන ලැජ්ජා වෙන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ ඖෂධය පෙනහැල්ලට උත්තේජනයක් දෙන පෙනහැල්ල ආරක්‍ෂා කරන ටැබ්ලට් එකක් විදිහට නිෂ්පාදනය කළේ.”

බටහිර වෛද්‍ය කණ්ඩායමක්, එහෙමත් නැත්නම් ඒ විෂය ගැන හසළ දැනුමක් තිබෙන කීප දෙනෙක් මේ විදිහට දේශීය ඖෂධ යොදාගෙන ටැබ්ලට් හදන එක පුදුම සහගත දෙයක්. මොකද අතිමහත් බටහිර වෛද්‍යවරු දේශීය බෙහෙත් හේත් ගැන එතරම් කතා කරන්නේ නැහැ. මේ ගැනත් අපි වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාට මතක් කළා.

“ඔව්. ඒක ඇත්තක්. ඒත් ඒ ඇත්තට වඩා අපි දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න වෙහෙස මහන්සි වුණා. ඔබ දන්නවා, කොරෝනා රෝගයත් එක්ක වැඩි බලපෑමක් ඇති වෙන්නේ පෙනහැල්ලට. අපි ඒ වෙනුවෙන් තමයි මේ ටැබ්ලට් එක හැදුවේ. ඒ බෙහෙත් වට්ටෝරුවට මදුරුතලා, කොත්තමල්ලි, ආඩතෝඩා, වදකහ, ඉඟුරු, සුදුලූනු අඩංගුයි.

ඇත්තට ම මේ ඖෂධය හදලා අපි ඒක අත්හදා බලන්න කොරෝනා රෝග ආශ්‍රිතයන් 1,000කට පමණ ලබාදී ප්‍රතිඵල විමසා බැලුවා. ඊළඟට කොරෝනා රෝගීන් 200කට පමණක් මේ ටැබ්ලට් එක දීලා ප්‍රතිඵල විමසා බැලුවා. ඒ හැම ප්‍රතිඵලයක් ම සාර්ථකයි.

ඊළඟට අපි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට, ස්වාධීන රූපවාහිනි ආයතනයට තිස්සමහාරාම පොලිසියට, විහාරස්ථාන කිහිපයකට වගේ තවත් තැන් කිහිපයකට මේ ටැබ්ලට් එක ලබාදී බැලුවා. ඇත්තට ම යහපත් ප්‍රතිචාර තිබෙනවා.”

වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස එකතු වී හැදූ මේ ටැබ්ලට් එක ආයුර්වේද ඖෂධයක් විදිහට හඳුන්වා දෙන්න මුලදී හිතුවත් පසුව ඒ අදහස ඔවුන් අත්හැර දමලා. ඒකට හේතුව ‘ධම්මික පැණියත්’ සමග අපේ රටේ ජන සමාජය තුළ පමණක් නොව විදෙස් රටවල ප්‍රවෘත්ති නාලිකාවල ඒ පැණිය මතභේදයට හාස්‍යයට ලක් වූ කරුණක් බවට පත් වූ නිසා.

“අපිට මේ තත්ත්වය ගොඩාක් දුරට බලපෑවා. ඒ නිසා ම විශේෂ ජනමාධ්‍ය අවධානයක් දිනා ගැනීමට හෝ රජයේ අවධානය දිනාගැනීමට වැඩපිළිවෙළක් සැකසීම අප විසින්ම අත්හැර දැමුවා. දැන් ඔබට වුණත් මේ කරුණු කියන්නේ විමසීමක් කළ නිසාමයි.

නමුත් අපි මේ ටැබ්ලට් එක විදෙස් රටවලට පවා දැන් බෙදා හරින වැඩපිළිවෙළක් හැදුවා. ඒ වෙනුවෙන් පෞද්ගලික සමාගමක සේවය අපි ලබාගත්තා. මොකද නිෂ්පාදන වියදම අපිට දරන්න බැහැ. මොකද මමවත් මගේ බිරියවත් පෞද්ගලික රෝහල්වල කවදාවත් සේවය කරලා නැහැ. චැනල් සේවාවල වැඩ කරලා නැහැ. ඉතින් ලොකුවට මුදල් නැහැ,” වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සිනාසෙමින් කියනවා.

“ඒත් අපිට මේ ටැබ්ලට් එක අපේ රටේ කොරෝනා රෝගීන්ටත්, ඒ ආශ්‍රිතයන්ටත් ලබා දීමේ වුවමනාව තිබෙනවා. ඒකට උදවු ලැබුණොත් ඇති.”

මේ ආකාරයට නිෂ්පාදනය වී ඇති දේශීය ඖෂධ ඇතුළත් මේ ටැබ්ලට් එකට අපේ රටේ ආහාර පනත යටතේ පුරවැසියන්ට ලබා දීමේ අවසරයක් වගකිව යුතු අංශවලින් ලැබී තිබෙනවා. ඒ ගැනත් වෛද්‍ය සම්පත් කතා කළා.

“ලංකාවේ වෛද්‍ය ඉතිහාසය දිහාට හැරිලා බැලුවොත් අපේ රටේ කවදාවත් බටහිර ඖෂධයක් හදලා නැහැ. මේ නිසා ම අපි හැමදාමත් බිලියන ගණන් පිටරටට යවලා ඖෂධ ගෙන්වනවා. ඇත්තටම මේක ශෝචනීය තත්ත්වයක්. මේ නිසාම බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රය නියෝජනය කරන අපට ඖෂධයක් නිර්මාණය කරලා ඒක ශ්‍රී ලංකා නිෂ්පාදනයක් විදිහට ඉදිරිපත් කිරීමේ හා බෙදා හැරීමේ ගැටලු රාශියක් පැනනැගී තිබෙනවා.

මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. දැන්වත් අපි අපේ රටේ දේවල් පිටරටට යවන්න වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.”

අපි මුලදි ම කිව්වා වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාගේ සොයුරු රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය වගේ ම දැනට ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයෙකු වන නන්ද ගුණවර්ධන මහතා ගැන. ඔහු මේ විෂය ගැන හසළ බුද්ධියක් ඇති උගතෙක්. ඒ විතරක් නෙවෙයි රටවල් ගණනාවකට ගොස් මේ සම්බන්ධව හැදෑරූ හා ඒ විෂය පිළිබඳව කරුණු කාරණා දැනගත් නැණවතෙක්. ඉතින් ඔහු තමන්ගේ සොහොයුරා හා තවත් වෛද්‍යවරු කිහිපපොළක් සමග එකතුවී දේශීය ඖෂධ වට්ටෝරුවක් උපයෝගි කරගනිමින් නිකම් ම නිකම් බෙහෙත් කරලක්, එහෙමත් නැත්නම් ටැබ්ලට් එකක් හදන්නේ නැහැ. නිපදවන්න උත්සාහ ගන්නේ නැහැ.

“ඇත්තටම මේ මොහොතෙත් අපි සැලකිය යුතු ටැබ්ලට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් යනවා. ඒ මේ වෙලාවේ කොරෝනා රෝගීන්ට ඒ ඖෂධ ලබා දෙන එක හොඳයි කියලා හිතුණු නිසා.”

වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මේ බෙහෙත් කරල එහෙමත් නැත්නම් ටැබ්ලට් එක උදේ හවස දින 4 ක් ලබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත්වන බවයි.

“කොරෝනා රෝගීන් මුහුණ දෙන ප්‍රධාන ම ගැටලුව තමයි හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වීම. ඒ අපහසුතාවට තමයි මේ බෙහෙත් කරලින් සහනයක් ලැබෙන්නේ. අපි ඒ සුවය තමයි ලබා දෙන්නේ.

ඒ වගේ ම තවත් එක දෙයක් අවසන් වශයෙන් කියන්න ඕනෑ. අපි ප්‍රසිද්ධිය හෝ මුදල් හොයන පරමාර්ථයෙන් නෙමෙයි මේ ඖෂධය හැදුවේ. අපේ දේශීය ඖෂධවලින් ලෝකය ම මවිත කරන ඖෂධ හදන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න ඕන නිසයි.

කාලයක් තිස්සේ අපි මේ විදිහට තවත් ඖෂධ වර්ග 160ක පමණ පර්යේෂණ කළා. ඒවා තවමත් කරනවා. ඒ හැම එකක්ම දේශීය ඖෂධ වට්ටෝරුවලින් තමයි නිපදවන්න සැලසුම් කළේ. ඉදිරියටත් ඒවා කරනවා.”

සමන් ප්‍රියංකර නම්මුනිගේ


Like it? Share with your friends!

7 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close