free statistics

පොදු ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් කඩ කළොත් – ඉදිරි පැය 48දී වෙන දේ මෙන්න


පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය නොකරන්නේ නම් ඉදිරි පැය 24, 48 කාලය ඇතුළත නීතිමය ක්‍රියාමාර්ග ගෙන හෝ තත්ත්වය පාලනය කිරීමට සිදුවන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 27) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

“ප්‍රවාහන ක්ෂේත්‍රය සම්බන්ධව අද උදේත් ඊයේ සවසත් මම ප්‍රවාහන ක්ෂේත්‍රයේ ගරු සභාපති සමග සාකච්ඡා කරා යම් යම් වැඩපිළිවෙළවල් සම්බන්ධව. අපි නීති නොදා ජනතාවගේ ඉල්ලීමක් සහ බුද්ධිමත් ජනතාවක් හැටියට කටයුතු කරන්නැයි කියන ඉල්ලීම යම් කිසි විදියකින් ප්‍රතික්ෂේප වෙනවා නම්, එයට අවනත නොවෙනවා නම්, ඒක පිළිනොගෙනවා නම් අපිට නීති මගින් ඒ දේ කරන්න වෙනව නම් ඒක වැඩි කල් නොයා අපි හැකි ඉක්මනින් ඒ තත්ත්වෙට අවතීර්ණ වෙන්න වෙයි කියලා අපි හිතනවා. එහෙ ම වුණොත් අපි ඒ දේ කරන්න පසුබට වෙන්නෙත් නැහැ කියන එක කියන්න ඕන,” යැයි එහිදී අමාත්‍යවරයා අදහස් දැක්වීය.

බස් ගාස්තු ඉහළ දමා ආසන සංඛ්‍යාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට කටයුතු සැලසුම් කළ ද එය ක්‍රියාත්මක නොවන්නේ පොදු ප්‍රවාහන සේවා ප්‍රමාණවත් පරිදි නොමැති වීම හේතුවෙන් ද? යන ප්‍රශ්නය මාධ්‍යවේදියෙකු නැගූ අතර එහිදී අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

“මේක සමස්ත විසඳුමක් හැටියටනේ ගන්නේ. උදාහරණයට ගත්තොත් අපි ආරාධනා කරලා තියනවා, අපි ඉල්ලීමක් කරලා තියනවා ආයතනයකින් අවශ්‍ය ම සේවකයන් පමණක් සේවයට ගෙන්න ගන්නයි කියල.”

එලෙස සේවක සංඛ්‍යාව සීමා කිරීම මගින් ප්‍රවාහන සේවා සම්බන්ධ ගැටලුවක් ඉස්මතු නොවන බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

නමුත් එය නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවේ නම් ඉදිරි පැය 24, 48 තුළ නීති රීති මගින් එම තත්ත්වයන් පාලනය කිරීමට කටයුතු සිදු කිරීමට වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close