free statistics
පාස්කු ප්‍රහාරයෙන් බිරිය හා දියණිය අහිමි වූ පියෙකුගේ ශෝකාවර්ජනය

පාස්කු දින සිදුවීමෙන් බිරිය හා දියණිය අහිමි වූ පියෙකුගේ ශෝකාවර්ජනය


කාලය ගතව ඇත. නමුත් එදා කම්පිත සිත් අදත් සුසුම්ලමින් අහිමි වූ ආදරය අයැදිමින් සිටී. පාස්කු දින සිදුවීම් මාලාවට අදට වසර 2ක් ගත වී ඇත. තැළුණු, රිදුණු, පෙළුණු සිත් යළි යළිත් තළා පෙළා දැමීමට අවැසි නැත. නමුත් හොඳ සවන්දෙන්නෙක් ලෙස ඔවුන් පවසන දුක අසන්නට හැකි නම්, ඔවුන්ගේ සිතට සහනයක් උදාකරන්න හැකි නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු නිසැක ය.

“මගේ බිරිය හුඟාක් හොඳ කෙනෙක්. ඇයගේ ආගමේ හැටියට දෙවියන්ව විශ්වාස කරමින්, ඊට ගරු කරමින් බෞද්ධ ධර්මයටත් ගරු කරමින් ඉතා හොඳ ජීවිතයක් ගත කළා. මගේ බිරිය (වයස අවුරුදු 44ක් වූ මැණික් අසංකා සූරියආරච්චි) යන මග ගිය මගේ දියණියත් (වයස අවුරුදු 10ක් වූ අලෙක්සැන්ඩ්‍රි කොලොන්නේගේ) බිරිය මැණික් සමග ම වසර දෙකකට පෙර කටුවපිටියේ කුරිරු බෝම්බයට හසුවී මගෙන් සමුගත්තා. මගේ බිරිය මීගමුව ප්‍රදේශයේ උපන් කෙනෙක්. නමුත් මම නුවර පළාතේ උපන් කෙනෙක්. මම නුවර පිටිය බණ්ඩාර දේවාලයේ බස්නායක නිලමේ ලෙස වසර පහක් කටයුතු කරනවා. ඒ වගේ ම නුවර නාථ දේවාලයේ ගජනායක නිලමේ. අපි ආගම් දෙකක වුණත් කවදාවත් ආගමික ගැටුම් අපි අතර තිබුණේ නැහැ” යැයි වසර දෙකකට පෙර අප්‍රේල් 21 වන දා කුරිරු සිද්දියෙන් බිරිඳ හා දියණිය අහිමි වූ සුදේශ් කොලොන්නේ තම දුක්බර එදින මතකය ගැන සිහි කළේ මෙලෙසින්.

“මම උපතින් ම බෞද්ධයෙක්. බුදු දහමේ කියැවෙන විසාලා මහනුවර මම මගේම ඇස් දෙකෙන් එදා දැක්කා.

විසි එක් වන දා මමත් සමග ම දියණියයි බිරියයි පුරුදු පරිදි ම කටුවපිටිය පල්ලියට ගියා. මාගේ බිරියත් දියණියත්, පල්ලියේ ඉදිරිපෙළ ආසන්නයේ බංකුවක වාඩි කෙරෙව්වා. පල්ලියේ පූජාව යන අවස්ථාවේ මමත් ඒ දෙදෙනා සමග පල්ලියේ සිටියා. පූජාව අවසන් වෙලා යන්න ඔන්න මෙන්න වන විට වෙනදා මෙන් මම  අපේ වාහනය ගේන්න එළියට ආවා. එළියට එන විට මම දුව එක්කන් එන්න හැදුවා. හැමදා ම වාහනය ගේන්න එනවිට මා සමග දුවත් එළියට එනවා. නමුත් එදා මොකක්‍දෝ හේතුවකට මාගේ බිරිය මැණික් මාගේ දියණියගේ අත තදින් අල්ලා ගත්තා. පසුව දියණිය මවගේ මුහුණ දිහා බලලා අප්පච්චී ගිහින් කාර් එක අරන් එන්න කියා කීවා. මම වාහනය ගන්න කාර් පාක් එකට ගියා. එහිදී මට වාහනයට ගොඩවන්නටවත් ඉඩක් තිබුණේ නැහැ. කන් බිහිරි කරවමින් මුළු පළාතම දෙදරුම් කමින් දරාගන්න බැරි මහා කම්පනයක් ඇති වුණා. 

පසු පස හැරී බලන විට කටුවපිටිය පල්ලිය ම දුමෙන් වැහිලා එක ම විලාප හඬක් පමණක් ඇහෙන්න පටන් ගත්තා. මම දුවලා ගිහින් මාගේ මැණික්ට සහ දියණියට මොකද වුණේ කියා සොයන්න පටන් ගත්තා. එකම ලේ විලයි. මස් කෑලි කෑලි, කැඩී ගිය සිරුරු තැන තැන විසිරිලා තිබුණා. ඉතා අමාරුවෙන් දියණියගේ ගවුමෙ පාටෙන් මම ඇයව සොයා ගත්තා. දියණියගේ ඇඟේ හැම තැන ම මස් කෑලි ඇලිලා තිබුණා. මුණින් අතට හැරී තිබුණ දියණියව ඔසවා අතට ගත්තා. තාත්තා කෙනෙක් හැටියට ඉවසාගන්න බැරි තරම් දරුණු ලෙස දියණියගේ සිරුරට හානි වෙලා. බඩවැල් පවා එළියට ඇවිදින් තිබුණා. මම ඒ සියල්ල නැවත සිරුරට ඇතුල් කර ඇයව සිප නැවතත් බිමින් තබා මේ ලොවෙන් ඇය නික්ම ගොස් බව දැනගෙන බිරියට වුණේ මොකක්ද සොයන්න පටන් ගත්තා. දියණියට ආසන්නව ම බංකුවක් යට මළ කඳන් පහකට යටව සිටි මගේ බිරියගේ සිරුර දැක මම ඉක්මනින් ඇය මත වැටී තිබූ කෑලි විසිරුණු මළ කඳන් ඉවත් කරමින් මාගේ බිරිය බංකුවේ යටින් එළියට අරගත්තා.

මැණික්ට ලොකු තුවාල තිබුණේ නැහැ. නමුත් ඇයට ඒ සිදුවූ කම්පනයෙන් ම සමුගෙන යන්න ඇතැයි ද සිතුණත් මම ඇයව උඩු අතට හරවා බලන විට තොල්දෙක මුමුනන ගතියක් දැනුණා. ඉන්පසු මම ඇයව ඔසොවාගෙන පල්ලියෙන් ඉස්සරහට දුවගෙන ආවා. මට හිතුණා මාගේ බිරිය මියගියේ නෑ කියා. ඒ නිසා මම ඇය ඔසවාගෙන එළියට විත් මීගමුව රෝහල වෙත ගියා.

මගේ බිරිය කොපමණ කිතුනු දහමට ළැදි ද කීවොත් දෙදහස් දහනවයේ අප්‍රේල් මාසයේ 14 වන දා ඇය මගේ දියණිය සමග ජේසුස් වහන්සේගේ කටු ඔටුන්න තැන්පත් කර ඇති ප්‍රංශයේ ලූස් පල්ලියට පවා මගේ ආශීර්වාදය මත පිටත්ව යනවා. ඒ ආසාව ඉෂ්ට කරගන්න මම ඇයට උදවු වුණා. ඇය මාගේ දියණියත් සමග  14දා ලංකාවෙන්  ප්‍රංශය බලා පිටත්ව යනවා. නැවත මගේ දියණිය සහ බිරිය පැමිණෙන්ට නියමිතව තිබුණේ ඔවුන් සමුගෙන ගිය විසි එක් වන දා දිනයේයි. නමුත් ඇය මට හදිසියේ කතා කරලා කිව්වා සුදේශ් කටුවපිටිය පල්ලියේ පාස්කු මංගල්‍යය විසි එක් වන දා පවත්වන නිසා දහනව වන දා අපි දෙන්නා ලංකාවට එනවා කියලා, අපිව අරගන්න ගුවන් තොටුපොළට එන්න කියා කිව්වා. මම එදින ගිහින් මාගේ බිරිය මැණික්ව සහ දියණිය ඇලෙක්සැන්ඩ්‍රාව ගුවන්තොටුපොළෙන් රැගෙන එනවා.

ඇය නිරන්තරයෙන් පන්සල් යන්න මා සමග එනවා. බුදු දහම ගැන මට වඩා ඇය ඉගෙන ගෙන තියෙනවා. පිරිත් පොතේ තුන් සූත්‍රය ම කටපාඩමෙන් කියන්න හැකියාවක් තිබ්බ කෙනෙක්  ඇය. පසුව මම මාගේ බිරියවත්, දියණියවත් රැගෙන ශ්‍රී ලාල් මහත්මාගේ ගෙදරට ගියා. එහිදී ශ්‍රී ලාල් මහත්මා පිරිත් කියා අප තිදෙනාට ම පිරිත් නූල් තුනක් අතේ ගැට ගැසුවා. ඉතා ආසාවෙන් දියණියත් මගේ බිරිය මැණික් ද එම පිරිත් නූල් ගැට ගහ ගත්තා. නමුත් දෛවෝපගත සිද්ධියක් මෙන් තාමත් ඒ පිරිත් නූල් තුනෙන් මාගේ බිරියගේ සහ දියණියගේ අතේ බැඳි පිරිත් නූල් දෙක මාගේ වාහනේ කැබි හෝල් එකේ තියා ඔවුන් එදා කටුවපිටිය පල්ලියට ඇතුළු වී 21 වන ඉරිදා දින අවසන් හුස්ම හෙළුවා.”

වසර හැත්තෑ දෙකක් වූ ශාන්ති කොළොන්නේ මියගිය මැණික්ගේ නැන්දම්ම දියණියගේ ආච්චි. ඇය පවසන්නේ මෙවන් කතාවක්. 

“වසර දහයක් පුරාවට ම මාගේ මිනිබිරියව හදාගත්තේ මමයි. මගේ ලේලිය ලේලියක් නොවෙයි. මගේ ම දියණියක් වගේ මට. ඇය සර්ව ආගමිකයෙක් යැයි මට හිතෙනවා. ඇය ඉතා හොඳින් කතෝලික දහමට ආදරය කළා. ඒ වගේ ම සෑම ආගමකට ම ගරු කළ රත්තරන් දියණියක්. ඇයට තුන් සූත්ත්‍රය ම ඉතා හොඳින් කටපාඩම්. මගේ පුතාව මට බලාගන්න දීලා ඇය සුරපුරයට යන්න ඇති මෙවන් විපත් කිසිම කලෙක කිසිම අම්මා කෙනකුට වන්නට ඉඩ තියන්න එපා යැයි මම රට කරවන අයගෙන් ද ඉල්ලා සිටිනවා.

මිය ගිය මාගේ මිතුරිය මැණික්ගේ පල්ලිය වූයේ බෝලවලාන පල්ලියයි. නමුත් අපි කටුවපිටියේ ඉන්න නිසා අපිත් එක්ක කටුවපිටිය පල්ලියට මැණික් ද සම්බන්ධ වුණා. සම්බන්ධ වන්නේ දියණියගේ සප්ප්‍රසාද ලැබීම සමග යි. එදා සිට මිය යන දා දක්වා මැණික් අපගේ කටුවපිටිය පල්ලිය හා බැඳී ඉතා සහයෝගයෙන් කටයුතු කළා. නමුත් අවාසනාවකට මෙන් ඇය වැඩියෙන් ම ප්‍රිය කරපු එම කටුවපිටිය පල්ලිය තුළදී ම ඇයට දිවියෙන් සමුගන්න සිදුවුණා.

එදා සිද්ධිය වන අවස්ථාවේ මමත් මගේ ස්වාමිපුරුෂයා වන අජිත් ද හිටියේ පොඩි පල්ලියේ වෙනදාට මැණික් පල්ලි යනවිට අපිට කතා කළත් එදා මැණික් අපිට කතා කළේ නැහැ. මම දන්නෑ මැණික් පල්ලියට ආවා ද කියන්න නමුත් අවසානයේදී ඇය අපගෙන් සමුගෙන ගිහින් බව දැන ගත්තා. කටුවපිටිය පල්ලිය එක ම රතු රෙද්දක් එළා වසා දැමුවා මෙන් තුවාල වූ සිරුරු සහ ලේ විසුරුණු පොළොවයි අපට දකින්න ලැබුණේ. මුහුදු රල ගොඩට ගලා එන්නා සේ එක ම හෝ හඬට පමණයි. ඒ හඬ මැදින් පැමිණි විලාප හෝ හඬ සහ ඒ කම්පනය අපේ ජීවිතයේ කිසිදු කලෙක නැවත දකින්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.”

කටුවාපිටිය සිදුවීමෙන් පසු වසර දෙකක් තිස්සේ දෙපා වාරු නැතිව ඇඳටම වී සිටින අංක 34 මහහුණුපිටිය, මීගමුව යන ලිපිනයෙහි පදිංචි තිළිණා හර්ෂනී ගේ මව වන සිල්වියා මහත්මිය දිවියෙන් සමුගත් ඇගේ මුනුබුරා වන අවුරුදු හයක් වූ දුලෝත් පේමිණ සහ දෙවසරක් තිස්සේ රෝගී ඇඳමත සිටින තිළිණා හර්ෂනී දියණිය ගැනත් එදා සිදුවීම ගැනත් මෙසේ පැවසීය.

“එදා එවන් විපතක් සිදුවනකම් බලා සිටි සියලු දෙනා ම මෙහි වගකීම භාරගත යුතුයි. අද වනතුරු අප බලාපොරොත්තුව සිටින්නේ වරදකරුවන්ට දඬුවම් මෙන් ම සිදුවීමට ලක් වූ ජනතාවට නිසි සාධාරනයක් ඉටු වේවි කියලා. මගේ දියණිය වසර එකහාමාරකට වඩා රෝහල් ගතව සිටියා. ඒ වගේ රෝහල්ගතව ප්‍රතිකාර ගත්ත තවත් බොහෝ පිරිසක් සිටිනවා. මේ ගැන සොයා බැලීම ආණ්ඩුවේ වගකීමක්. මින් ඉදිරියට එවන් විපත් වීමට ඉඩ නොතැබීමත් ආණ්ඩුවේ වගකීමක්.

එදා මමත් මගේ දියණිය සමග පල්ලියට ගියා. මම රෝහල්ගතව දින ගණනක් ප්‍රතිකාර ගත්තා. අපට මේ විපත වූ දිනයේ සිට ඇමෙරිකාවේ කැලැරන් ෆවුන්ඩේෂන් කියන ආයතනයෙන් මේ දක්වා හෙද සේවයට අවශ්‍ය සියලු ම මුදල් ලබාදී තිබෙනවා. එම මුදල් ශ්‍රී ලංකාවේ සර්ටීස් ලංකා නර්ෂින් කෙයා සමාගමට මාස්පතා එවනවා. ඊට අමතරව අනෙකුත් සෑම සෞඛ්‍ය අවශ්‍යතාවකට ම අපි වියදම් කරලා. එම බිල්පත් බිෂොප් හවුස් එකට යැව්වාම බිෂොප් හවුස් එකෙන් අපිට ඒ මුදල් ගෙවනවා.”

මේ වන විට වයස 36ක් වන තිළිණා හර්ෂනී දරුවන් තිදෙනකුගේ මවක්. ඇය අමිහිරි අත්දැකීම විස්තර කළේ මෙලෙසින්.

“මට ඉතා හොඳින් මතකයි එදා සිදුවීම. එය මට නිතර නිතර සිහි වෙනවා. මම බිම් වැතිරිලා ඉන්න කොට නැගුණු ඒ විලාපය මට හොඳට මතකයි. මගේ ඇඟ මතින් එකිනෙකා දුව යනවා මතකයි. ඒ මිය ගියවුන් අතර මමත් සදා මියගිය කෙනෙක් ලෙස එදා වැතිර සිටියා. එවැනි දෙයක් නැවත නම් මගේ මතකයට එන්නවත් දකින්නවත් ඉඩ තියන්න එපා.

මගේ ඇහැක් අහිමි වුණා. මේ වනවිට බොරු ඇහැක් සවිකර තිබෙන්නේ. මට දෙපාවාරු නැති කෙරුවා. මාගේ සුෂුම්නාවේ ඇට බිඳී ගොස් තිබෙනවා. අතපය තවමත් හරියට වාරු නෑ. වසර දෙකක් පුරාවට ම ඇඳ මත ම යි ඉන්නේ. මම කල්පනා කරන්නේ මාගේ ඉතිරිව සිටින දියණියටයි පුතාටයි අකුරු කරන්න මේ මගේ අත් වාරු වෙන්නේ කවදා ද කියා. මට හැකි වූ විගස මගේ මේ අත්වලින් වාරු අරගෙන එයාලා දෙදෙනා උසස් අධ්‍යාපනය දක්වා ගෙන ගොස් රටේ ඉහළ තැනකට ගෙනියනවා. හැම අම්මා කෙනකුට මෙන් මටත් දරුවන් හොඳ තැනකට ගෙනයෑමේ ආසාව තියෙනවා. ඒ ආසාව ඉෂ්ඨ සිද්ධ කරගන්න මා හට උදවු උපකාර කරන එදා සිට මේ දක්වා මාව බලා ගත් වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම හෙද හෙදියන්ට මම මගේ හිස නමා ආචාර කරනවා. ඒ අතර වෛද්‍ය සුනිල් පෙරේරා වෛද්‍යවරයා දෙවියෙක් වගේ. එතුමා නොසිටින්න මට නැවත ඇඳ මත වත් සිටීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ.

මම එදා බෝම්බය වැදුණු දා සිට ම උත්සාහ කළේ ජීවිතයට සමුදෙන්න නොවේ, ජීවිතය යළි ලබා ගන්නයි. ඒ නිසා ම මට නැවත ජීවිතේ ලැබී තිබෙනවා. මම ඇඳ මත ඉඳගෙන වසර දෙකක් කාලෙ ගත කිරීමට සිදු වීම ගැන මට ලොකු කනගාටුවක්  තියෙනවා. ඒ වගේ ම මගේ පුතා නැති වීම ගැන සිතනවා මිසක් පුතාගේ පින්තූර දකිනවා මිසක් පුතාගේ අවසන් කටයුතු සිදුවුණේ කොහොම ද කියලවත් මම දන්නේ නැහැ. ඒ ගැන මට කනගාටුයි. නමුත් කරන්න දෙයක් නෑ. යළි මෙවන් විපතක් කාටවත් සිදුවෙන්න එපා. ඉදිරියට එවන් දේවල් කරන්නවත් හිතන්නවත් එපා. ඒක තමයි මගේ ප්‍රාර්ථනය.”


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close