free statistics

හිටිහැටියේ රුවන්වැලිසෑයෙන් මතුවුණු නෙළුම් මල මොකක්ද?


ලෝකයේ අන් ජාතීන්ට වඩා ශ්‍රී ලාංකික අපිට ආඩම්බර විය හැකි ප්‍රධාන කාරණාවක් වන්නේ වසර 2500කට එහා ගිය අපේ ඉතිහාසයය. ඒ හරහා අදටද අපිට ඉතිරි වී ඇති උරුමයන් බොහෝය. අතීතයේ මෙරට පැවැති දියුණුව, සෞභාග්‍ය විදහා දක්වන සාක්ෂි සාධක රාශියක් තවමත් ඒ ආකාරයෙන්ම සුරක්ෂිතය. රුවන්වැලි සෑ රදුන්ද ඒ ආකාරයෙන් ලොවක් මවිත කරවන අප සතු මහා දායාදයකි. ලොව පුරා බෞද්ධයන් එය වන්දනා කරන්නේ ඉමහත් භක්තියෙනි. ඒ හරහා පෙන්නුම් කරන්නේ අප සතු වූ ආගමික දියුණුව පමණක් නොවේ. ඒ හරහා අපි එකල ලබා සිටි වාස්තු විද්‍යාත්මක දියුණුවද මැනවින් වටහා ගත හැක. එකල කලාකරුවන් සතු වූ දක්ෂතාවය අදටද ලොවම පුදුම කරවනසුලුය.

දුටුගැමුණු රජු විසින් ඉදිකරන ලද රුවන්වැලි සෑය ඉන් අනතුරුව විවිධ රජවරුන් යටතේ විවිධ වෙනස්කම්වලට ලක්ව ඇත. එමෙන්ම වසර සිය ගණනක් වනාන්තරයෙන් වැසී තිබුණු එම දාගැබ නැවත සොයා ගනු ලැබුවේ 19 වැනි සියවසේදීය. නාරංවිට සුමනසාර හිමියන් එදා වනගතව තිබූ රුවන්වැලි සෑය සොයා ගනිද්දී, එය පැවතියේ ගරා වැටුණු ස්වරූපයෙනි.

වර්තමානයේ අප දකින රුවන්වැලි සෑය මේ තත්ත්වයට පත්ව ඇත්තේ ඉන් අනතුරුව සිදුකරන ලද වෙනස්කම්වලින් පසුවය. ඉන් පසුවද රුවන්වැලි සෑය සහ ඊට සම්බන්ධ වාස්තු විද්‍යාත්මක අංග රාශියක් නවීකරණයට ලක් වී ඇත. නමුත් ඒ කිසිදු අවස්ථාවක සම්පූර්ණයෙන් එම අංග වෙනස් කිරීමට කිසිවකු කටයුතු කර නැත. ඒ සෑම අවස්ථාවකදීම එම අංගවල පැරැණි ස්වරූපය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යාමට එම නිර්මාණකරුවන් කටයුතු කර ඇත.

නමුත් වර්තමානයේදී සිදු කෙරෙමින් පවතින රුවන්වැලි සෑයේ ප්‍රධාන වාහල්කඩ නවීකරණයේදී එම තත්ත්වය වෙනස් වී ඇති බවක් පෙනෙන්නට තිබෙන බව බොහෝ දෙනාගේ අදහසය. ඒ මෙවර නවීකරණයේදී එහි අමුතුම ආකාරයේ මල් කැටයමක් නෙළීමට නිර්මාණකරුවන් පියවර ගෙන තිබීම හේතුවෙනි.

මෙම මල් කැටයම දකින ඕනෑම කෙනකුට සිහිපත්වන්නේ වර්තමානයේ ඉතා ජනප්‍රිය එක්තරා හිමිනමක් සම්බන්ධ විහාර සම්ප්‍රදායකි. මීට කලකට පෙර ඇරඹි එම විහාර සම්ප්‍රදාය මෙරට අනෙක් විහාරස්ථානයන්ට වඩා තරමක් වෙනස් වූ අතර එම වෙනස මල් කැටයම්වල පමණක් නොව බුදුරජාණන් වහන්සේගේ පිළිරූවල පවා පැහැදිලිව දැක ගත හැක. පෙනුමෙන් මෙන්ම ඒවායේ ආගමික වතාවත් පවත්වන ආකාරයද වෙනස් බව පවසන්නේ ඒ සඳහා සහභාගි වූ පිරිසමය.

පොල්ගහවෙල ප්‍රදේශයෙන් ආරම්භ වූ එම විහාර සම්ප්‍රදාය මේ වනවිට දිවයින පුරා පැතිර යමින් ඇත. වර්තමානයේදී එය ප්‍රබල ආගමික සංවිධානයක් බවට පත්ව ඇත. එය එක්තරා ආකාරයක ආගමික නිකායක් බවට අදහස් දක්වන පිරිස්ද බොහෝය.

තමන් කැමැති ආගමක් ඇදහීම සාමාන්‍ය ජනතාව සතු අයිතියකි. එබැවින් පවතින ආගමක් තමන්ට රිසි ආකාරයෙන් වෙනස් කර ඇදහීමේ අයිතියද ඕනෑම කෙනකුට ඇත. ඒ සඳහා වෙනම බැතිමතුන් පිරිසක්ද සිටින බැවින් ඒ සඳහා විරුද්ධ වීමේ අයිතියක්ද කිසිවෙකුට නැත.

නමුත් ප්‍රශ්නය වන්නේ එම විවිධ සම්ප්‍රදායන්ට අයත් වෙනස්කම් වසර 2500කට වඩා පැරැණි අප සතු ලෝක උරුමයන් සඳහාද භාවිතා කිරීමට උත්සාහ දැරීමය. දැන ගන්නට ලැබෙන පරිදි මෙලෙස වෙනස් ආකාරයේ මල් කැටයමක් යොදා සකස් කරන වාහල්කඩේ නවීකරණය සඳහා මුදල් ලබා දී ඇත්තේ ඉහත සඳහන් ආගමික සංවිධානය මඟිනි. එම සංවිධානයට අයත් පන්සල් ජාලයේ දක්නට ලැබෙන ආකාරයේ මල් කැටයමක් රුවන්වැලි සෑයේ වාහල්කඩ සඳහාද නිර්මාණය කිරීම සැකයට තුඩු දී ඇත්තේ එබැවිනි.

රුවන්වැලි සෑයේ පමණක් නොව මේ වන විට මිහින්තලේ ඇතුළු පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථාන කිහිපයක ඉදිකිරීම් සිදුවන්නේ මෙම ආගමික සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය මතය. එම සංවිධානය විසින් භාවිත කරන වෙනස් ආකාරයේ ශෛලීන් එම ස්ථානවලටද භාවිතා කෙරෙමින් පවතින බවටද චෝදනා එල්ල වෙමින් ඇත. තවමත් පුරාවිද්‍යා පරීක්ෂණ සිදු කෙරෙන ත්‍රිකුණාමලය සේරුවාවිල ප්‍රදේශයේ පිහිටි විල්ගම් වෙහෙර අවට සියලුම ගොඩනැඟිලි ඉදිකර ඇත්තේ අදාළ සංවිධානයට අනන්‍ය වූ ආකාරයෙනි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මය හරහා ගැඹුරින් විදහා දැක්වෙන්නේ සමානාත්මතාවයය. එවැනි ශාස්තෘවහන්සේ නමක් වෙනුවෙන් ඉදිවූ ඓතිහාසික ස්ථානවලට තමන්ට ආවේණික වෙනස්කම් ඇතුළත් කිරීමට අදාළ සංවිධානය උත්සාහ දරන්නේ කුමන අරමුණකින්ද යන්න බොහෝ දෙනාට ප්‍රශ්නයක් වී ඇත. එමෙන්ම එය උතුම් බුදුදහම හෑල්ලු කිරීමක්වන බවද ඒ පිරිස්වල අදහසය.

අදාළ ආගමික සංවිධානයට අයත් ප්‍රධාන විහාරස්ථානයට ඇතුළු වීමේදී විවිධ පරීක්ෂාවන්ට ලක්වීමට සිදු වීම මෙන්ම එහි ඡායාරූප ගැනීම තහනම් බවද බොහෝ දෙනකු දන්නා කාරණාවන්ය. තමන්ට අයත් විහාරයක ඒ ආකාරයෙන් කටයුතු කිරීමට එම සංවිධානයට හැකි නමුත් ලෝ පුරා ජනතාවගේ අයිතියක්වන රුවන්වැලි සෑය වැනි තැනකදී ඒ ආකාරයෙන් කටයුතු කිරීමට කිසිදු අයිතියක් කිසිම සංවිධානයකට නැත. අත්හැරීම බුදුදහමේ ප්‍රධාන සංකල්පයය. එවැනි දහමක් යොදා ගනිමින් අත්හැරීම වෙනුවට අල්ලා ගැනීම ලොවට පෙන්වන එවැනි සංවිධාන පිළිබඳ තීරණය කිරීම ඔබ සතුය.

චන්දන පොන්නම්පෙරු


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close