free statistics

විවාහයකට අත්සන් කරන්න යන්න සිද්ධ වුණු වෙලාවක මට කොවිඩ් ආසාදනය වුණා


1 share

තමන්ට ලැබුණු චරිතය ප්‍රේක්ෂක මනසේ විශ්වසනීයව තහවුරු කළ හැකි චරිතාංග රංගන ශිල්පීන් අතර ජනක් ප්‍රේමලාල් ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පියා ප්‍රමුඛයෙක්.

පසුගිය දවස්වල මුහුණ දෙන්නට වුණ කොවිඩ් රෝගී තත්ත්වෙන් සුවපත්ව විවේකීව නිවෙසේ ගත කරන අතරතුර මේ දවස්වල විකාශනය වන ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔහු ප්‍රේක්ෂකයන් අතරට එනවා.

ඔහු කතා බහ ආරම්භ කළේ සිය අත්දැකීම් හරහා පණිවිඩයක් දෙන්න මෙය අවස්ථාවක් විදිහට සලකමින්.

“මම ජීවත් වන්නේ හොරණ මගේ උපන් ගමේ. බොහෝ අවස්ථාවල දී මට ආරාධනා ලැබෙනවා විවිධ විශේෂ අවස්ථාවලට ආරාධිතයකු ලෙස සම්බන්ධ වෙන්න.ප්‍රතික්ෂේප කරන්නත් බෑ. ගිහින් පසෙකට වී ඉන්නත් බෑ. යන තැන්වල ඉන්නෙ රසිකයො. එහෙම විවාහයකට අත්සන් කරන්න යන්න සිද්ධ වුණු වෙලාවක මට කොවිඩ් ආසාදනය වුණා. මගෙන් මවට මේ රෝගය ආසාදනය වනවා. බොහෝ කම්පනයටත් ආතතියකට මා පත් වුණා. ප්‍රතිකාරවලින් පසුව මගේ මව දැන් සුවයි. එය මට මහත් මානසික අස්වැසිල්ලක්.”

“මේ තත්ත්වය අත්විඳපු නිසා එහි බරපතළකම අවදානම මම අත්දැකීමෙන් දන්නවා. ජනතාව වගකීම් සහගතව වැඩ කළේ නැත්නම් මෙය සෞඛ්‍ය අංශවලට හෝ ආරක්ෂක අංශවලට හෝ රජයට සම්පූර්ණයෙන්ම මර්දනය කරන්න හැකියාවක් නැහැ.”

“මේ තත්ත්වය නිසා නිර්මාණවලින් මාසයක් පමණ ඈත් වෙන්නට සිදු වුණා. සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරන මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ‘සෙංකොට්ටං‘ නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වන ටෙලි නාට්‍යයේ චරිතයක් රඟපාන්න මම සූදානම්ව හිටියා.
වැස්සට තෙමීගෙන ගං වතුරේ ගහගෙන යන අවස්ථා වගේම බළන්ගොඩ කල්තොට වැනි ශීත කඳුකර ප්‍රදේශවල රූගත කිරීම් සිදුවන්නේ.

මේ චරිතය රඟපාන්න වෛද්‍ය උපදෙස් අනුව මට හැකියාවක් නැහැ. මොකද තව සති කිහිපයක් විවේකීව ගත කරන්න මට වෛද්‍ය උපදෙස් ලබා දී තියනවා. ඒ නිසා ඒ නිර්මාණයට දායකවෙන්න ඉඩක් ලැබෙන්නේ නැහැ.”

රංගන ශිල්පියෙක් විදිහට රූපවාහිනිය හරහා ඔබ ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. අපි ඒ අතීතයට ආපහු හැරිලා බලමු.

“මම රූපවාහිනි නිර්මාණයකට මුලින්ම සම්බන්ධ වෙන්නේ ශ්‍රීමතී ලියනගේ මහත්මියගේ ‘හත් පණ‘නාට්‍යයේ සුළු චරිතයක් රඟපාමින්.

ඉන් අනතුරුව සුදත් සේනාරත්න රූපවාහිනියට අධ්‍යක්ෂණය කළ ‘සිව් මංසල‘ ටෙලි නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක් මට ලැබෙනවා .
එහි හර්ෂ කියන උපකාරක පන්ති ගුරුවරයාගේ චරිතය. එවකට මම හොරණ විද්‍යාරත්නයේ උසස් පෙළ ආර්ථික විද්‍යාව ගුරුවරයා විදිහට සේවය කරන්නේ. මට ලැබුණු චරිතය විද්‍යා ගණිත ගුරුවරයෙක්. අධ්‍යක්ෂවරයාගේ අනුමැතිය මත මම ඒ චරිතය දර්ශන තලයේ රඟපෑවේ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදිහට. චරිතය සාර්ථකව කරන්න මට වඩාත් පහසු වුණා.”

“ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඉන් අනතුරුව මට පරාක්‍රම නිරිඇල්ලගේ ‘සඳගිරි පව්ව‘ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හිමිවෙනවා’’ ‘බෝගල සවුන්දිරිස්‘ ටෙලි නාට්‍යය මගේ රංගන ජීවිතේ වෙනස්ම පැතිකඩක චරිතයක් රඟ දක්වන්න අවකාශ සලසනවා.
ඉන් අනතුරුව නාගරික හා ග්‍රාමීය පන්නයේ චරිත රඟපාන්න මට අවස්ථාව ලැබෙනවා. සුදත් රෝහණ අධ්‍යක්ෂණය කරපු ‘කටු ඉඹුල‘ සහ ‘කරුවල‘වෙනුවෙන් සිග්නීස් සහ රයිගම් සම්මාන උලෙළවල හොඳම නළුවා විදිහට මට සම්මාන හිමි වෙනවා. සුගත්ම අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත‘ ටෙලි නිර්මාණය වෙනුවෙන් රාජ්‍ය ටෙලි සම්මාන උලෙළෙත්, ‘ගිරිකුළ‘ ටෙලි නාට්‍ය වෙනුවෙන් සුමති සහ සිග්නීස් සම්මාන උලෙළෙත් හොඳම නළුවාට හිමි සම්මාන ලබාගන්නවා.“

“සම්මාන දිනූ ටෙලි නාට්‍ය සියල්ලම අධ්‍යක්ෂණය කරන්නේ සුදත් රෝහණ විසින්. ඒ වගේම ඒ ටෙලි නාට්‍යය සියල්ලම නවකතා ආශ්‍රයෙන් නිර්මාණය වෙන්නේ.

නවකතාවකින් තිර රචනාවක් නිර්මාණය ගොඩනඟන අවස්ථාවල නවකතාව මං මුලින්ම කියවන්න පෙලඹෙනවා. අඩුම තරමේ දහ පහළොස් වතාවක් ඒ නවකතාව කියවන්න මම පෙලඹෙනවා. එතනදි චරිතය පිළිබඳ මනෝරූප මට චිත්‍රණය වෙනවා.

මේ අධ්‍යයනය රංගන ශිල්පියෙක් විදිහට මට ඉතාම වැදගත්. මා සාර්ථක වෙන්න ඇත්තෙත් මේ අභ්‍යාසය නිසා.“
රංගන ශිල්පියෙක් විදිහට බොහෝ දෙනෙක් දැන හඳුනා ගත් නමුත් තරුණ වියේදීම ඔබ ප්‍රතිභාසම්පන්න නාට්‍යකරුවෙක්. නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබ විශිෂ්ට භූමිකාවක් කරනවා.

“ මා නාට්‍යකරණයට ආපු මුල් යුගයේදී දයානන්ද ගුණවර්ධනයන් එක්තරා අවස්ථාවකදී මගේ නාට්‍ය පිළිබඳ අගය කිරීමක් කළා. එදා තමයි වේදිකා නිර්මාණ වල වටිනාකම පිළිබඳ අදහසක් මට ඇති වෙන්නේ.“

“අබුද්දස්ස කෝලම, රාජ කපුරු, රජගහේ නාඩගම, සක්වල කැලඹිලා වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් මට වේදිකාවට ගෙන එන්න හැකි වුණා.‘අබුද්දස්ස කෝලම‘ 1984 වර්ෂයෙ යෞවන සම්මාන උලෙළේ සම්මානයට පාත්‍ර වුණා. එවගේම “රාජ කපුරු” නාට්‍ය 1988 රාජ්‍ය සම්මාන උලෙළේ සම්මාන දිනා ගනු ලබනවා. ‘රාජකපුරු‘වගේ නාට්‍යයක් 2000 වසරේ මාර්තු මාසයේදීත් නාමෙල් මාලනී රඟහලේ වේදිකාගත කරන්න අපට හැකි වුණා. මගේ අලුත්ම නාට්‍ය ‘ආඬි හතයි කැඳ හැලියයි‘.නුදුරේදීම එය ප්‍රේක්ෂකාගාරය වෙත ගෙන එන්නට අපි සූදානමින් ඉන්නවා.

නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් රංගන ශිල්පියෙක් සහ වෘත්තීය ගුරු භූමිකාවෙහි නියැළුණු කෙනෙක් විදිහට වර්තමාන පරපුර පිළිබඳ ඔහුට තිබුණේ මෙහෙම අදහසක් .

“අද තරුණ පරම්පරාව එදාට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ගත්තත් පර්යේෂණාත්මක නාට්‍ය තරුණයන් අතින් නිර්මාණය වෙනවා. හොඳ කෙටි නාට්‍ය ප්‍රවණතාවක් වර්තමානයේ දකින්න පුළුවන්. රූපවාහිනී නිර්මාණ ගත්තත් නිර්මාණශීලී තරුණ පරම්පරාවක් අපට ඉන්නවා.

එදා අපි මේ විෂය අල්ල ගත්තේ ඉවෙන් වගේ. ඉගෙන ගන්න නාට්‍ය විෂය පිළිබඳ පොත පත පවා අපට තිබුණේ නැහැ. රූපවාහිනිය සහ සිනමා තාක්ෂණය හදාරන්න වර්තමානයේ අවස්ථා පුළුල් වෙලා. එය අපේ දරුවන්ට ඉතාම වටිනා අවස්ථාවක්. මා හිතනවා නිර්මාණශීලීව හිතන බුද්ධිමත් පරපුරක් ඉදිරියේදී නිර්මාණය වේවි කියලා.”

අවසාන වශයෙන් අපි ඔහුගේ එදිනෙදා ජීවිතය ගැන ඇසුවා.

“මගේ අම්මාගේ සහ තාත්තාගේ වයස අවුරුදු අනූ දෙකයි. මගේ බිරිය ඥානේත්‍රා. දුව සශිකලා.. පුතා ගයාන්ජිත් ඒ දෙදෙනා විවාහකයි. පුතා පරිගණක ඉංජිනේරුවෙක්. ඔහු ස්වීඩනයේ ජීවත් වෙනවා. ගුරු වෘත්තියෙන් විශ්‍රාම ගියාට පස්සේ මා පූර්ණ කාලීනව කලා ක්ෂේත්‍රයේ කටයුතු කරනවා.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත


Like it? Share with your friends!

1 share

0 Comments

Your email address will not be published. Required fields are marked *

close