free statistics

බදියුදීන්ගේ පවුල්වල මෙහෙකාර සේවයට දරුවන් 11ක් සපයලා


බොරැල්ල පොලීසියේ නිලධාරීන් සමග අධිකරණය හමුවේ අද (24) කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙ’කාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි ජූඩ් කුමාර් හිශාලිනී නැමති දැරියගේ මරණය ඛේදවාචකයක් වශයෙන් හඳුන්වා දුනි.

කොළඹ නගරයේ වෙසෙන ප්‍රභූ පූද්ගලයින්ගේ දරුවන් බලාගැනීම සඳහා වතුකරයේ දරුවන් කොළඹට රැගෙන එන ජාලයක් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම ජාලයේ සාමාජිකයෙකු වශයෙන් මෙම නඩුවේ සැකකාර තැරැව්කරු ද කටයුතු කර ඇතැයි සඳහන් කළේය.

ඔහු ඒ බව සඳහන් කළේ, පොලීසිය මගින් අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වන ශියාබ්දීන් අයේෂා, ඇයගේ පියා වන මොහොමඩ් ශියාබ්දීන්, ඇයගේ සහෝදරයා වන ෂියාබ්දීන් ඉස්මත් සහ අදාළ දැරිය ගෙනැවිත් භාරදුන් තැරැව්කරු වන පොන්නයියා පන්ඩාරම් යන අය අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නිරන්ජනා ද සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

පසුගිය 03 වනදා පිළිස්සීමට ලක්වූ මෙම දැරිය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉකුත් 15 වනදා මියගොස් තිබූ බවත් බාහිර පිලිස්සීම් තුවාල හේතුවෙන් ඇතිවූ කම්පනය මත මෙම දැරියගේ මරණය සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේ දී කරුණු අනාවරණය වූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

දැරියගේ මරණය පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තාව තුළින් ඇය ලිංගික ප්‍රවේශයන්ට ලක්වී ඇතැයි සඳහන් කොට තිබෙන බවද ඔහු අනාවරණය කළේය.

මෙම සිද්ධියේ සැකකාර තැරැව්කරුගෙන් ලබාගත් රුපියල් 30,000/- ක ණය මුදල හිලව් කිරීම සඳහා ඇයගේ මව විසින් මියගිය දැරිය සැකකාර තැරැව්කරුට ලබාදී තිබු අතර පසුව ඔහු මාර්ගයෙන් සැකකාරියගේ නිවසට එවා ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙම සැකකාර තැරැව්කරු මෙලෙස දරුවන් 11 දෙනෙකු බදියුදීන් පවුලේ විවිධ පාර්ශ්ව වෙත ගෙනැවිත් දී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව සඳහන් කර සිටියේය.

2004 වසරේ නොවැම්බර් මස 14 වනදා උපන් මියගිය දැරිය ඇයගේ වයස අවුරුදු 16 සම්පූර්ණ වී දින හතරකින් පසුව එනම් 2020 වසරේ නොවැම්බර් මස 18 වනදා මෙම සැකකාරියගේ නිවසට මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බවත් ඇයට එම නිවසේ මුළුතැන්ගෙයට පිටත ස්ථානයක පිහිටි අඩි 06 ක් සහ අඩි 04 කින් යුත් කුඩා කාමරයක නවාතැන් ගැනීමට සිදුවී තිබූ බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

එම කාමරයට විදුලිය තිබුණ ද විදුලි එළිය නොතිබූ බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඇය නිවසින් පිටස්තර ස්ථානයක ඉතා අනාරක්ෂිත ජීවිතයක් ගතකර ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයි ද සඳහන් කළේය.

නීති හදන ස්ථානයේ කටයුතු කරන පුද්ගලයෙකු ගෘහ මූලිකයා වශයෙන් ක්‍රියාකරන මෙම නිවසේ එවැනි අවාසනාවන්ත සිද්ධියක් හටගැනීම කනගාටුදායක බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා දැනට රෝහල්ගතව සිටින මෙම නිවසේ ගෘහ මූලිකයා පිළිබඳවත් විමර්ශන සිදුකරන බව අධිකරණයට දන්වා සිටියේය.

මේ හේතුවෙන් මෙම දැරිය සියදිවි නසා ගත්තාද? නැතිනම් ඇයගේ ජීවිතය යම් අයකු නැති කළාද? යන බරපතළ සැකයක් මතුවී ඇති අතර මීට අදාළව මහජන කැළඹීමක් ද හටගෙන ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත 43වන වගන්තිය යටතේ මෙම සැකකරුවන් ඉදිරි පැය 48ක කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශන සිදුකිරීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකාර රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශන කිරීම සඳහා අවසර දෙන ලෙස පැමිණිල්ල විසින් කරනු ලබන ඉල්ලීම නීතියට පටහැනි වුවත් තමා ඊට විරුද්ධ නොවන බව සඳහන් කළේය.

අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව මෙවැනි වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් පැය 24 ක් තුළ අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවත් එම නීතිමය විධිවිධානය පිළිපැදීමට පොලීසිය මෙහිදී කටයුතු කර නැතැයි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

තම සේවාදායකයිකාව පොලීසිය විසින් රඳවාගැනීම සිදුකර තිබෙන්නේ ඉකුත් 22 වනදා පස්වරු 3.00 සිට බවත් ඒ අනුව අද පෙරවරු වනවිට නීතියේ සඳහන් පැය 24ක කාලය ඉක්මවා ගොස් ඇති බැවින් මෙවැනි ඉල්ලීමක් කිරීමට පැමිණිල්ලට හැකියාවක් නොමැති බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා කෙසේවෙතත් තමා මෙම ඉල්ලීමට විරුද්ධ නොවන අතර විමර්ශනවලට පූර්ණ සහාය ලබාදෙන බවත් පැවසීය.

අධිකරණයට ඉදිරිපත් කර තිබූ මොහොමඩ් ඉස්මත් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා එම සිද්ධියට සම්බන්ධ නොමැති බවය.

අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ ඉකුත් 22වන දා පස්වරුවේ මෙම සැකකාරිය පොලීසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගැනීම සිදුවුවත් ඇය නියම වශයෙන් අත්අඩංගුවට ගත්තේ 23 වනදා අලුයම 4.15 ට බවත්ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය මෙම සැකකරුවන් පිරිස විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා 26 වන සඳුදා පෙරවරු 10.00 තෙක් පොලීසිය භාරයේ රඳවාගෙන විමර්ශනය කිරීමට අවසර දුන් අතර එදින ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

Source – Adaderana.lk


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close