free statistics

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු නවුෆර්ස – සරත් වීරසේකර කියයි


පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය මෙහෙය වූ ප්‍රධානත ම පුද්ගලයා දැනට අත්අඩංගුවේ සිටින මොහොම් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් බවත් ත්‍රස්ත විමර්ශන අංශය මගින් සිදුකරගෙන යන පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී තිබෙන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දැනට අත්අඩංගුවේ පසුවන මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නමැති මෙම පුද්ගලයා වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි බවට තොරතුරු වාර්තා වන බව ද අමාත්‍යවරයා පැවසීය. 

ඒ අකාරයෙන් වසර ගණනාවක් තිස්සේ කටාර් රාජ්‍යයේ සිටි දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් 2016 වසරේ සිට සහරාන් සමග සමීපව කටයුතු කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, ISIS නායකයා වූ අබුබකර් අල් බග්ඩාඩිගේ මතවාදයට සහරාන්ව සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්යභාරයක් සිදුකර තිබෙන බව විමර්ශනවලින් අනාවරණය වී තිබෙන බව ද වීරසේකර ඇමතිවරයා පැවසීය.

නවුෆර් නමැත්තා සහරාන් සමග දිගින් දිගටම සම්බන්ධ වෙමින් පාස්කු ප්‍රහාරය දක්වාම ඔහුව මෙහෙයවා තිබෙන බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මගින් කරන ලද විමර්ශනයන්ගෙන් හෙළි වී තිබෙන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් පාස්කු ප්‍රහාරය පසුපස සිටි ප්‍රධානත ම මූලධර්මවාදියා මෙන් ම සහරාන්ව මෙම ප්‍රචණ්ඩත්වයට යොමු කළ ප්‍රධානම පුද්ගලය‍ෙකු ලෙස නවුෆර්ව හඳුනාගෙන තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී හෙළි කළේය.

පාස්කු ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයන් තමන්ගේ නායකයා අබුබකර් අල් බග්ඩාඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථ කර තිබෙන බව ද වීරසේකර ඇමතිවරයා තවදුරටත් පැවසීය.

ඉරාකයේ සිටි ISIS නායක බග්ඩාඩි විසින් 2014 ජුනි 29 වැනිදා සිරියාව හා ඉරාකය කේන්ද්‍ර කරගෙන ඉස්ලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරමින් සිරියාවට හෝ ඉරාකයට පැමිණෙන ලෙසට සහ ඉස්ලාම් රාජ්‍යය වෙනුවෙන් සටන් කරන ලෙසට මුලින් ප්‍රකාශ කර තිබූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බග්ඩාඩිගේ මෙම ප්‍රකාශයෙන් පසු 2015 ජනවාරි මාසයේ මෙරට පුද්ගලයන් 37 දෙනකු කණ්ඩායම් ලෙස සිරියාවට ගොස් එම සංවිධානය සමග එක්ව කටයුතු කර තිබෙන බව ඇමතිවරයා පැවසීය.

මීට අමතරව ඉස්ලාම් රාජ්‍යය හෙවත් IS වෙත කැමැත්ත දක්වන මෙරට පුද්ගලයන් ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම් හෙවත් JMI නමින් සංවිධානය වන බව මූලිකව යුද්ධ හමුදා බුද්ධි අංශය හා රාජ්‍ය බුද්ධි සේවාව එම වකවානුවේ හඳුනාගෙන තිබූ බව ද ඇමතිවරයා කියා සිටියේය.

2018 වසරේ සිට සහරාන්ගේ සියලු කටයුතු සඳහා අවශ්‍ය මුදල්, වාහන පහසුකම් සියල්ල ලබා දී ඇත්තේ දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන් වන ඉන්සාෆ් හා ඉල්හාම් බවත් ඔවුන් 2018 සිට පාස්කු ප්‍රහාරය දක්වා ලක්ෂ 500කට අධික මුදලක් සිය ව්‍යාපාරවලින් ලබා තිබුණු බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළි කළේය.

ඊට අමතරව ඔවුන් දෙදෙනා ISIS සංවිධානය සමග සම්බන්ධ වී සිරියාවේ පුහුණු වන ලාංකික ත්‍රස්තයන්ට යැවීම සඳහා 2018 නොවැම්බර් මස රුපියල් ලක්ෂ 45ක් සිරියාවේ ත්‍රස්තවාදියකු ලෙස මියගිය නිලාම් නමැත්තාගේ පියාට ලබා දී තිබෙන බව විමර්ශනවලින් හෙළි වී ඇතැයි ද ඇමතිවරයා පැවසීය. 

ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් ඉල්හාම් සිය ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂ 370ක් ලබාගෙන ඉන් කොටසක් ප්‍රහාරය සැලසුම් කිරීමට හා වෙනත් පහසුකම් ලබාගැනීමට සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන්ට ලබාදී තිබූ බව හෙළි වී ඇතැයි ද සඳහන්  කළ ඇමතිවරයා එයින් රුපියල් ලක්ෂ 50ක් ප්‍රහාරයට දින පහකට පසුව සයින්දමරුදු නිවෙසේ තිබී සොයාගත් බවත් මෙහිදී කියා සිටියේය.

එමෙන්ම 2015 වසරේදී ලාංකික සමාගමක් විසින් චීනයෙන් කඩු 1,440ක් මෙරටට ආනයනය කර තිබෙන බව ද 2018 වසරේදී දෙමටගොඩ ඊබ්‍රාහිම් සහෝදරයන්ගේ මෙහෙයවීම මත ඉහත සමාගමෙන් විවිධ කඩවලට විකුණා ඉතිරි වූ කඩු 300ක් මිලදී ගෙන තිබෙන බව අනාවරණය වී ඇතැයි ද පැවැසූ අමාත්‍යවරයා එම කඩු කොම්පඤ්ඤවීදිය, කාත්තන්කුඩි හා බේරුවල පුද්ගලයන්ට ලබා දී ඇතැයිද මෙහිදී කියා සිටියේය.

එමෙන්ම මීගමුව හා කුරුණෑගල ප්‍රදේශවල කම්හල්වලින් කඩු 27ක් සකස් කරගෙන තිබූ බවත් ඒ පිළිබඳව කළ විමර්ශනයකින් පසු ඊට සම්බන්ධව පුද්ගලයන් 35 දෙනකු අත්අඩංගුවට ගෙන ඉන් 7 දෙනකුට එරෙහිව නඩු පවරා තිබෙන බවත් ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close