free statistics

ත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 ඇමරිකාවට වසර 50කට


2 shares

ත්‍රිකුණාමල වරාය ඩොලර් මිලියන 3000 පමණ මුදලකට ඇමරිකාවට වසර පනහක කාලසීමාවකට බදු දීමක් සිදු විය හැකි බව ජාතික සංවිධාන එකමුතුව සඳහන් කරයි. එහි සංවිධායක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි. ඔහු විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය. බ්‍රින්‍ය යටත් විජිත සමයේදී මෙ.ටො 10,000 ක ධාරිතාව සහිත ටැංකි 102 කින් සමන්විත තෙල් ටැංකි සංකීර්ණයක් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව ඉදි කරනු ලබන්නේ 1940 දී පමණය. නිදහස ලබාගැනීමෙන් පසුව එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජයට පවරා දීමට එහි නීත්‍යානුකූල අයිතිකරු වූ බ්‍රිතාන්‍ය නාවික හමුදාව මැළිකමක් දැක්වීය. ඒ අනුව 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ රජය යටතේ ස්ටර්ලින් පවුම් 250,000 ක වන්දි මුදලක් ගෙවා එම තෙල් ටැංකි සංකීර්ණය ශ්‍රී ලංකාවේ රජයට පවරා ගනු ලැබීය. නමුත් උපාය මාර්ගික වශයෙන් වැදගත් මර්මස්ථානයක් වන එම ටැංකි සංකීර්ණයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඉන් පසුව පත් වූ සැම රජයක්ම අසමත් විය. එම ටැංකි සංකීර්ණයේ ඉහළ කොටසට අයත් ටැංකි 85 කින් කිසිඳු ප්‍රයෝජනයක් නොගත් අතර පහළ සංකීර්ණයේ ටැංකි 14 ක් පමණ ඛණිජ තෙල් සංස්ථාව විසින් සීමිත අවශ්‍යතායන් සඳහා භාවිතාකොට ඇත. ඒ අතුරින් ටැංකි 2 ක් භාවිතයට ගත් නොහැකි තත්වයකට පත් වී ඇත.

බ්‍රිතාන්‍ය පාලකයින් එදා 1940 දී එවැනි විශාල ටැංකි සංකීර්ණයක් ඉදි කරනු ලබන්නේ එහි උපාය මාර්ගික වැදගත්කම නිසාය. අද වන විට එම උපාය මාර්ගික වටිනාකම සිය දහස් ගුණයකින් වැඩි වීමක් මිස අඩු වීමක් සිදු නොවන බව ඉතා පැහැදිළිය. එදා 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබන අවස්ථාවේදී මෙම තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවේ එකඟතාවය සහිතව සංවර්ධනය කළ යුතු බවට එම ගිවිසුමට ප්‍රතිපාදනයක් ඇතුල් කරනු ලබන්නේ එම වැදගත් කම නිසා බවට කිසිඳු සැකයක් නැත. ඒ අනුව 2002 දී එම තෙල් ටැංකි සංකීර්ණයේ පය තබාගැනීමට ඉන්දියාව විසින් ඉතා සූක්ෂම මෙහෙයුමක් දියත් කරනු ලැබීය. එහිදී ඔවුන්ට මූලික වශයෙන් වැදගත් වූයේ ටැංකි සංකීර්ණය වාණිජ වශයෙන් භාවිතා කිරීමට වඩා එය රුසියාව හෝ චීනය වැනි පාර්ශව සමඟ එක්ව සංවර්ධනය කිරීම වැළැක්වීමය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් පිරිපහදුව ඉරානයේ සැහැල්ලු බොරතෙල් වලට විශේෂිතව ඉදිකරනු ලැබූවක් වන බැවින් ත්‍රිකුණාමලයේ නව තෙල් පිරිපහදුවක් ඉදි කිරීමේ උපාය මාර්ගික අවශ්‍යතාවයක් තිබීම ඊට හේතු විය.

මේ වන විට ඇමෙරිකානු සමාගමක් විසින් ඉන් ඩොලර් මිලියන 3000ක ආයෝජනයක් බව කියන මහා පරිමාණ තෙල් පිරිපහදුවක් ත්‍රික්‍රණාමල වරාය ආශ්‍රිතව ඉදි කිරීම සදහා ඉදිරිපත් වී ඇත. එම යෝජනාවට අනුව පිරිපහදුව ඉදිකරනු ලබන්නේ BOT හෙවත් ඉඳිකොට ක්‍රියාත්මක කර පවරාදීමේ පදනම මතය. ඒ අනව එම පිරිපහදුව සහ ත්‍රිකුණාමලව වරාය අශ්‍රිත පහසුකම් සියල්ල ඇමෙරිකානු දේපලක් ලෙස දීර්ඝ කාලයක් පවත්වාගෙන යාමේ හැකියාව ලැබේ. එම්.සී.සී ගිවිසම අනුව ත්‍රීකුණාමල වරාය ආශ්‍රිතව අක්කර 33,000ක භූමියක පැතිරී යන ආකාරයක ආයෝජන කලාපයක් පිහිටුවීමට යෝජනා විය. ඒ සදහා සිංගප්පූරුවේ සුභානා ජූරෝම් නැමති උපදේශක සමාගම විසින් සැළසුමක්ද ඉදිරිපත් කරනු ලැබීය. එම සැළසුමට අනුව එම ආයෝජන කලාපයේ අවස්ථා ලබා දිය හැක්කේ ඉන්දියානු, ඇමෙරිකානු සහ ජපාන සමාගම් වලට පමණි.

ඉන්දියන් ඔයිල් සමාගම සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් අතර ගිවිසුම

එම දීර්ඝකාලීන මහා උපාය මාර්ගයේ ආරම්භක ප්‍රවේශය ලෙස 2002 ජූනි 11 දින ශ්‍රී ලංකාවේ රජය විසින් අවබෝධතා ගිවිසුමක් අත්සන්කොට එම ටැංකි සංකීර්ණය ඉන්දියන් ඔයිල් සමාගමේ ශ්‍රී ලංකාවේ උප සමාගමක් වන ලංකා ඉන්දියන් ඔයිල් සමාගමට දීර්ඝ කාලීන බදු පදනමක් යටතේ පවරා දෙනු ලැබීය. ඊට අනුව 2002 දෙසැම්බර් 05 දින ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක්ද අත්සන් කරනු ලැබීය. එම ගිවිසුම මඟින් ටැංකි සංකීර්ණය සහ ඒ ආශ්‍රිත ඉඩම් සහ සෙසු පහසුකම් එම සමාගමට පවරා ගැනීමට සහ වැඩි දුරටත් සංවර්ධනය කිරීමට ඉන්දියානු සමාගමට බලය ලැබුණි. ඒ අනුව අවබෝධතා ගිවිසුම සහ ආයෝජන මණ්ඩල ගිවිසුම අනුව 2003 දී ඉන්දියන් ඔයිල් සමාගම සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් අතර ගිවිසුමක් අත්සන් කරන්නට යෙදුණි. නමුත් එම ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ රජයට ගෙවිය යුතු වූ මූලික මුදල වූ ඇ.ඩො මිලියන 100 ක මුදල නිසි ලෙස නොගෙවූ බවට ඉන්දියානු සමාගමට චෝදනා එල්ල විය. ඊට අමතරව එම ගිවිසුමේ පිටපත් අදාළ වගකියුතු ආයතන සතුව නොමැති බවට පසු කලෙක විගණකාධිපති වාර්තාවක් මඟින් එළිදරව් විය.

එවැනි තත්වයක් තුළ ඉහත සඳහන් කළ ආකාරයට ඉන්දියාවේ මූලික අරමුණ වූයේ එම තෙල් ටැංකි සංකීර්ණය වෙනත් පාර්ශවයක් සමඟ එක්ව සංවර්ධනය කිරීම වැළැක්වීම බව ඉන්දියාවේ හැසිරීම තුළින් පැහැදිළි විය. එම ගිවිසුම මඟින් අදාළ ඉඩම ඉන්දියානු සමාගමට වසර 50 ක කාලයකට බදු දෙනු ලැබුවද ඉන්දියාව එම බදු කාලය වසර 99 දක්වා දීර්ඝ කළ යුතු බවට සහ එදා පැවති රජය ඊට එකඟ වූ බවටද වාර්තා පළ විය. නමුත් ඉන්දියානු සමාගම විසින් යම් පමණකට හෝ භාවිතයට ගනු ලැබුවේ පහළ සංකීර්ණයේ පැවති ටැංකි 14 ක් පමණි. එහි වූ ටැංකි 15 න් භාවිතයට ගත නොහැකි එක් ටැංකියක් තිබූ බව රහසක් නොවේ. ඒ අනුව ඉහළ කොටසේ තිබෙන ටැංකි 85 ට අදාළව ඉන්දියානු සමාගම විසින් කිසිඳු සංවර්ධන කටයුත්තක් සිදු කළේ නැත. කෙසේ වෙතත් 2003 පෙබරවාරි 07 වන දින අත්සන් කළ ටැංකි සංකීර්ණ ගිවිසුම අනුව මාස 6 ක් තුළ දේපළ පවරා දීමට අදාළව බදු ගිවිසුම අත්සන් කළ යුතුව තිබුණි. එම බදු ගිවිසුම අද වන තුරු අත්සන් කිරීමට කටයුතු නොකිරීම නිසා ඉන්දියානු සමාගම එම දේපළ භුක්තියට ගැනීම නීත්‍යානුකූල නොවේ. එසේ වුවත් එකතු වූ වාර්ශික බදු මුදල වන ඇ.ඩො 100,000 ක මුදල මේ වන තුරු අදාළ සමාගම විසින් ශ්‍රී ලංකාවේ රජයට ගෙවා ඇත. ඒ ආකාරයට එම දේපළ පිළිබඳව ඉන්දියානු සමාගමට නීත්‍යානූකූල අයිතියක් නැතත් එම භූමියට ඇතුල් වූ ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින් අත්අඩංගුවට ගැනීමට පවා ඉන්දියානු සමාගමේ ආරක්ෂක අංශ විසින් කටයුතු කරනු ලැබීය.

තත්වයන් එසේ තිබියදී එම ටැංකි සංකීර්ණයේ භාවිතයට ගත හැකි 99 ම ඉන්දියානු සමාගමේ අයිතියට නතු විය. ඒ අනුව එම ටැංකි ප්‍රමාණයක් භාවිතයට ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඛණිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු සමාගම අතර අදාල දේපළ හවුලේ භුක්ති විඳීමේ ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා විය. ඊට අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමට බදු ගෙවිය යුතු තත්වයක්ද ඇති විය. කෙසේවෙතත් ඉන්දියානු සමාගම තම මූලික අරමුණට අනුව පහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 14 පමණක් භාවිතා කරමින් සමස්ථය සංවර්ධනය කිරීම වැළැක්වීමට සමත් විය. ඉන් පසුව 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ රජය යටතේ ඉන්දියාවට තම ඉදිරි උපාය මාර්ගික සැලසුම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුනේ නැත. ඒ අනුව 2015 දී රනිල් වික්‍රමසිංහ මහතා නැවත ලයට පත් වූ පසුව ඔහු විසින් දිගින් දිගටම අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරමින් නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තත්වය නිර්මාණය කරනු ලැබීය.

ත්‍රිකුණාමලය වරායේ බංකරින් ව්‍යාපාරය

ඒ අනුව 2017 මාර්තු 30, 2017 අප්‍රේල් 03 සහ 2017 අප්‍රේල් 24 ආදී වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකා 03 ක් ඉතා කෙටි කලකදී ඉදිරිපත් කොට 2017 අප්‍රේල් 26 දින අත්සන් කරනු ලැබූ නව අවබෝධතා ගිවිසුමට අනුව අර්ජුන රණතුංග අමාත්‍යවරා විසින් 2018 – 07 – 13 දින නැවතත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කොට මෙතෙක් අත්සන්කොට නොමැති බදු ගිවිසුම වසර 99 ක කාලයක්සඳහා අත්සන් කළ යුතු බවට යෝජනා කරනු ලැබීය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සඳහා එම පර්යන්තයේ සංවර්ධන කටයුතු පමා කරමින් නුසුදුසු දොඹකර ආනයනය කිරීම ආදී ක්‍රියාමාර්ග මඟින් ඉන්දියාවේ උවමනාවන් බොහෝමයක් ඉටු කිරීමට එම කාලයේදී කටයුතු යෙදිණි. කෙසේ වෙතත් එම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මඟින් සැබෑ නීතිමය තත්වය නොසලකා කටයුතු කිරීමට යෝජනා කොට තිබුණි. එනම් 2003 ටැංකි සංකීර්ණ ගිවිසුමට පසුව බදු ගිවිසුමක් අත්සන්කොට නැතත් සමස්ථ ටැංකි සංකීර්ණයම ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම එක්ව පිහිටුවනු ලබන ඒකාබද්ධ සමාගමකට නැවත බදු දීමට යෝජනා කරනු ලැබීය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ රජයට කොටස් අයිති සමාගමක් විසින් බදු අයිතිය නැති සමාගමකට බදු ගෙවා ඉඩම භාවිතා කිරීමට යෝජනා විය. එම ඒකාබද්ධ සමාගම මඟින් අදාළ සංවර්ධන කටයුතු කිරීමෙන් පසුව තෙල්ටැංකි 10 ක් පමණක් ඛනිජ තෙල් සංස්ථාවට ලබාදීමට ද එකඟ විය.

මේ වන විට ඉන්දියානු ඔයිල් සමාගම විසින් ත්‍රිකුණාමලය වරායේ බංකරින් ව්‍යාපාරය හෙවත් නැව් වලට තෙල් සැපයීමේ ඉතා ලාභදායි ව්‍යාපාරය ඒකාධිකාරියක් සහිතව අත්පත්කොට ගෙන ඇත. ඊට අමතරව ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව අක්කර 33,000 ප්‍රමාණයකට විහිදී යන වරාය නගර ව්‍යාපෘතියේ බහුතර නියෝජනය ලබා ගැනීම සඳහා ඉන්දියාව විසින් බලවත් උත්සහායක් ගනු ලැබීය. පසුගිය රජය විසින් එම වරාය නගර ව්‍යාපෘතිය සඳහා ඉන්දියානු, ජපාන සහ ඇමෙරිකානු සමාගම් සමඟ පමණක් සාකච්ඡා කළ යුතුය යන කොන්දේසි යටතේ අදාළ උපදේශන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සුභානා ජුරොන්ග් නැමැති සමාගමකට පවරනු ලැබීය. ඒ අනුව ඉන්දියාව විසින් ත්‍රිකුණාමලය වරාය ආශ්‍රිතව කරනු ලබන උපාය මාර්ගික අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තුළ තෙල්ටැංකි සංකීර්ණයට විශාල වැදගත්කමක් ලැබී ඇත. එවැනි තත්වයක් තුළ චීන හෝ රුසියානු සමාගම් විසින් ත්‍රිකුණාමලය ආශ්‍රිතව ඛණිජ තෙල් පිරිපහදුවක් සහ න්‍යෂ්ඨික බලාගාරයක් ඉදි කිරීම වැනි ව්‍යාපෘති වලට යොමු වීම වැළැක්වීම ඉන්දියාවේ ප්‍රභල උපායමාර්ගික උවමනාවක් බවට සැකයක් නැත.

දැන් නව වටයකින් වර්තමාන ආණ්ඩුව විසින් ඉන්දියානු සමාගමට නීත්‍යානුකූල බදු ගිවිසුමක් මඟින් පවරා නැති දේපලක් භාවිතයට අදාළව ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමට යෝජනා කරමින් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත්කොට ඇති බව වාර්තා වේ. පසුගිය 2021 පෙබරවාරි 19 දින ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ පළවූ වාර්තාවකට අනුව ඉන්දියානු රජය ප්‍රකාශකොට ඇත්තේ එම ටැංකි සංකීර්ණය ඉන්දියානු සමාගමක් විසින් බදු පදනමින් ලබාගෙන තිබෙන බැවින් එය නැවත අත්පත්කර ගැනීමට ශ්‍රී ලංකාවට අයිතියක් නොමැති බවය. එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට ඉන්දියානු රජය පොළඹවනු ලැබුවේ එම දේපළ නැවත ශ්‍රී ලංකාවේ අයිතිය යටතට පත්කරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් මඟිනි. කෙසේ වෙතත් ඉන්දියානු රජය සඳහන් කරන්නේ තමාගේ බදු අයිතිය එසේම තබා ගනිමින් ඒකාබද්ධ ව්‍යාපෘතියක් දියත් කිරීමට බාධාවක් නොමැති බවය. ඒ අනුව ඉන්දියාව තමාට නීත්‍යානුකූල අයිතියක් නොමැති තත්වයක් යටතේ පවා සිදුකරන බලපෑම් අනුව වර්තමාන රජයට අඩියක් පසුපසට ගැනීමට සිදු වී ඇත.

යුදමය තත්වයකදී බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සහතිකය

කෙසේ වෙතත් ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියානු ඔයිල් සමාගම ඒකාබද්ධව පිහිටුවනු ලබන සමාගමේ බහුතර අයිතිය ශ්‍රී ලංකාවට දීමට ඉන්දියානු රජය එකඟ වී ඇති බව වාර්තා වේ. එම එකඟතාවය වලංගු වන්නේ ටැංකි 85 කින් සමන්විත සංකීර්ණයට පමණි. ඒ අනුව ටැංකි 14 කින් යුත් පහළ සංකීර්ණය සම්පූර්ණයෙන්ම ඉන්දියානු ඔයිල් සමාගම විසින් පාලනය කරනු ඇත. එවැනි තත්වයක් යටතේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට අදාළ ගිවිසුම මෙන් මෙම නව ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවට බහුතර කොටස් අයිතිය හිමි වුවද කළමණාකරණය ඉන්දියානු සමාගමට යටත් කෙරෙන බවට සැකයක් නැත. නමුත් ඒ ආකාරයට අඩු තරමින් ඒකාබද්ධ සමාගමක් මඟින් ඉහළ ටැංකි සංකීර්ණය තුළ ඉන්දියානු ඔයිල් සමාගමට පමණක් අයිතිය ලැබෙන ලෙස වෙනත් ව්‍යාපෘති දියත් කිරීම සඳහා ඉන්දියානු සමාගම විසින් ඉදිරිපත් කළ යෝජනා පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

කෙසේ වෙතත් ඉන්දියාවට තෙල් ටැංකි – සංකීර්ණයේ භූගෝලීය පිහිටීම මිස එහි ගබඩා ධාරිතාව වැදගත් වන්නේ නැත. ඉන්දියාවේ කර්නාටක, අන්ද්‍රා සහ ඔරිස්සා ප්‍රාන්තවල බොරතෙල් මෙ.ටො මිලියන 5.33 ක් ගබඩා කිරීමේ පහසුකම් ඇත. ඒ අනුව ඉන්දියාවට යුදමය තත්වයකදී බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ඇත. නමුත් ශ්‍රී ලංකාවේ රජයට එවැනි සහතිකයක් මහජනයාට ලබාදීමේ උවමනාවක් තිබෙන බවක් පෙනෙන්නේ නැත. එසේ තිබේ නම් ඉන්දියාවේ උදාහරණය පෙන්වා ඉහළ ටැංකි සංකීර්ණයේ ටැංකි 85 ශ්‍රී ලංකාවේ අයිතියට ගැනීමේ බාධාවක් නැත. ඉන්දියාව සමඟ ඒකාබද්ධ සමාගමක් පිහිටුවීමෙන් පසුවද ශ්‍රී ලංකාවේ ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ටැංකි 85 න් උපරිම වශයෙන් 20 ක් භාවිතා කිරීමටය. ඉන්දියාවට එම ඉහළ ටැංකි සංකීර්ණයේ පය තබාගෙන සිටීම මිසක් එය තෙල් ගබඩා කිරීම සඳහා සංවර්ධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැත. එම නිසා ඉන්දියාවට පහළ සංකීර්ණයේ ටැංකි 14 එසේම තිබියදී ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට තමා සතු ඉඩම භාවිත කිරීම වැළැක්විය හැක්කේ කුමන නීතියකට හෝ යුක්තියකට ධර්මයකට අනුවද?

නමුත් ඉහත සදහන් කළ ආකාරයට දැන් සිදු වන්නේ ඊට වඩා බොහෝ භයානක දෙයකි. එනම් ඉන්දු/ඇමෙරිකානු/ ඔස්ට්‍රේලියානු / ජපාන ඒකාබද්ධ ආරක්ෂක සන්ධානයේ ඉනිදු ෆැසිපික් යුද උපායමාර්ගයට අනුව ත්‍රීකුණාමල වරාය සහ ඒ ආශ්‍රිත පහසුකම් අත්පත් කර ගැනීමය. මේ වන විට ඇමෙරිකානු සමාගම විසින් ඉදිරිපත් කරනු ලබන ත්‍රීකුනාමල වරාය ආශ්‍රිත ඛනිජතෙල් පිරිපහදුවට අදාල අයෝජන යෝජනාව ක්‍රියාත්මක කළ යතු බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විවෘතවම බලපෑම් කරමින් සිටින බව රහසක් නොවේ. නමුත් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් එම ආයෝජනය සදහා ටෙන්ඩර් පටිපාටිය අනුව ගෝලීය මට්ටමෙන් ආයෝජකයින් කැදවිය යුතු බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව වාර්තා විය. එවැනි තත්වයක් තුල දැන් අමාත්‍යවරයාගේ ප්‍රතිපත්තිය වෙනස් කිරීම හෝ අදාල අමාත්‍යාංශය අමාතයවරයාගෙන් ගැලවීම යන තීන්දු දෙකෙන් එකක් ගැනීමට ආණ්ඩුවට සිදුවනු ඇත. කවුරු කැමති වුවත් , අකමැති වුවත් දැඩි තීන්දු ගැනීම මගින් ආර්ථිකය කණපිට හැරවීම සදහා පැමිණෙන බව කියන නව මුදල් අමාත්‍යවරයාට ඊට අදාලව විසඳුමක් තිබෙන බවට සැකයක් නැත.

– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර


Like it? Share with your friends!

2 shares

0 Comments

Your email address will not be published. Required fields are marked *

close