free statistics

කොළඹ ව්‍යාපාරිකයා මිහින්තලේ ඓතිහාසික භූමියකට වැඩේ දීලා – ඩෝසර් කිරීමෙන් අනුලාදේවි චෛත්‍ය බිමේ නටබුන් රැසක් විනාශයි


ඓතිහාසික මිහින්තලේ අනුලාදේවි චෛත්‍ය පිහිටි පුරාවිද්‍යා රක්‍ෂිතයේ අක්කර තුනක පමණ ඉඩම් ප‍්‍රමාණයක් සංචාරක විවේකාශ‍්‍රමයක් ඉදිකිරීම සඳහා කොළඹ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඩෝසර් කර ඇති බව පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.

කොරෝනා හේතුවෙන් රට වසා තිබුණ දින වකවානුවේදී මෙම පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කර ඇති බවත් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට මිහින්තලේ පොලිසියට 2021.07.02 ගියවිට පැමිණිල්ල භාර නොගත් බවත් පසුව ඒ සම්බන්ධව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ පාලිත වීරසිංහ මහතාට දැනුමදුන් බවත් කෙසේ වෙතත් මිහින්තලේ පොලිසිය පුරාවිද්‍යා රක්‍ෂිතයට සිදුකර ඇති විනාශය සම්බන්ධව පැමිණිල්ල භාර නොගත් නිසා මේ සම්බන්ධව 2021.07.05 දින අනුරාධපුර කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණිලිකරන බව මිහින්තලේ පුරාවිද්‍යා කලාප භාර නිලධාරි මංජුල රත්නායක මහතා පැවැසීය.

මිහින්තලේ මැදවච්චිය මාර්ගයේ ගල්තලාවක් සහිත ප‍්‍රදේශයක් පුරාවට අනුලා දේවි චෛත්‍යය සහ ගල්ලෙන ඇතුළු පුරාණ නටබුන් විශාල ප‍්‍රමාණයක් මෙම රක්‍ෂිතය තුළ තිබෙන බවත් ඩෝසර් කිරීම හේතුවෙන් පුරාණ නටබුන්වලට හානි සිදුවීමෙන් විශාල ගඩොල් ප‍්‍රමාණයක් විනාශ වී ඇති බවත් පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.

මේ සම්බන්ධව කළ විමසුමේදී අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්‍යක්‍ෂ මෙසේ පැවැසීය.

රජයේ රක්‍ෂිතය තුළ මෙම අනවසර කි‍්‍රයාව සිදුකර තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙනයි. මේ සම්බන්ධව මිහින්තලේ පොලිසිය පැමිණිල්ල භාර නොගත්තට එම පැමිණිල්ල අප විසින් අනුරාධපුර පුරාවිද්‍යා පොලිස් කොට්ඨාසයට දැනුම් දුන්නා. ඒ සම්බන්ධව පොලිසිය කටයුතු කළ පසු පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කිරීමට කටයුතු කළ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරනවා. මෙම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා සීමා මායිම් දාලා නැහැ. මෙම රක්‍ෂිතය මැනුම් කටයුතු සිදුකළ යුතුයි. විශාල නටබුන් ප‍්‍රමාණයක් ගල්තලාව තුළ තිබෙනවා. දැනට ඉදිකිරීම් නතර කර තිබෙනවා.

මෙම පුරාවිද්‍යා රක්‍ෂිතය ඩෝසර් කිරීම සම්බන්ධව පැමිණිල්ල මිහින්තලේ පොලිසියට භාර නොගැනීම සම්බන්ධව කි‍්‍රයාකර ඇත්තේ කාගේ වුවමනාවකටද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකළ යුතුව ඇතැයි පුරාවිද්‍යා නිලධාරීන් පවසයි.

කැකිරාව – සුදත් ඒකනායක – දිවයින පුවත්පත


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close