free statistics

15 හැවිරිදි දැරියක පිරිමින්ගේ පහත් ආශාවන් සන්සිදවාගැනීමට අලෙවි කිරීම සම්බන්ධයෙන් චීවරධාරියෙකුත් අත්අඩංගුවට


ඉන්ටර්නෙට් හරහා තම ඕනෑ එපාකම් සන්සිදවාගැනීම සඳහා අවුරුදු 15ක දැරියක් අලෙවි කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 17 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති බවත් දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයින් සහ ඊට අනුබල දුන් පුද්ගලයින් අතර චීවරධාරියෙකු ද සිටින බවත් ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් අතර මෙම දැරියගේ මව සහ මුලින් ම අත්අඩංගුවට ගත් දැරිය අලෙවි කළ පුද්ගලයාගේ අනියම් බිරිඳ ද සිටින බවය.

තවද දැරිය පුද්ගලයින් වෙත සපයන ලද ත්‍රීරෝද රථ රියැදුරෙකු සහ මෝටර් රථයක රියැදුරෙකු ද අත්අඩංගුවට ⁣ඇත.

මීට අමතරව දැරිය ඉන්ටර්නෙට් හරහා අලෙවි කිරීමට වෙළඳ දැන්වීමක් නිර්මාණය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව, මේ සිද්ධියට සම්බන්ධ මුලින් ම අත්අඩංගුවට ගත් පුද්ගලයා සමග සැකකරුවන් 18 දෙනෙකු වන අතර ඉන් 16 දෙනෙකු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, මෙම දැරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලට අනුව ඇය මෙලෙස අපයෝජනයන්ට ලක් කළ තවත් පුද්ගලයින් 20ට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශය විමර්ශන සිදු කරන බවය.

පසුගිය ජූනි මස 7 වන දා ගල්කිස්ස මූලස්ථාන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් අනුව ඉන්ටර්නෙට් හරහා විවිද කටයතු සඳහා මෙම අවුරුදු 15ක දැරිය අලෙවි කිරීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මොරටුව අධිකරණය වෙත යොමු කර රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙම දැරිය විවිධ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යවල විවිධ පිටු ඔස්සේ මාස 3ට ආසන්න කාලයක් අලෙවි කර ඇති බවත් ඇය රු. 10,000 සිට රු.30,000 දක්වා අලෙවි වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහයේ සංශෝධන පනතට අනුව ශ්‍රී ලංකාව තුළ වයස අවුරුදු 16ට අඩු දැරියකගේ කැමැත්ත ඇතිව හෝ නොමැතිව මෙම ක්‍රියාවන් වල යෙදීම වරදක් වන අතර ඉන්ටර්නෙට් හරහා කාන්තාවන් ශ්‍රමිකයින් ලෙස අලෙවි කිරීම ලංකාවේ අපරාධ නීතිය යටතේ කුට්ටනය සහ මිනිස් ජාවාරම යන වරද යටතේ වරදක් වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සම්බන්ධව ඉදිරියේදී එම චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත අතර සිද්ධිය පිළිබඳව විමර්ශන ඉදිරියටත් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පවත්වනු ලබයි.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close