free statistics

පන පිටින් වැළලුනු තම ස්වාමියන් කොයි වෙලේ හරි එයි කියලා රයිනි තාමත් මග බලනවා


දෙවනගල නායයාමෙන් තනි වූ රයිනි අරන් ගියේ හමුදාව නෙවෙයි උමේෂිගේ පෙම්වතා

ඇගේ ඇස්වල තවම කඳුළු….

එදා මුළු ලංකාවේම අහස විලාප දෙමින් අඬන්නට ගත්තේ නවතින්න බලාගෙන නොවේ. ජුනි හතරවැනිදාට එළිවෙන්නටත් කලින් පටන්ගත් ඒ ඇඬුම එදා මුළු දවසමත් පසුදා උදේ වරුවේත් එක සීරුවට එලෙසම පැවතුණි. අවසානයේ පස්වැනිදා මොහොතකට වාගේ කෑගලු අහසේ ඇඬුම නැවතුණේ දෙවනගල කරම්පිටිය ගම්මානයේ ‘රයිනිව’ විලාපයෙන් හඬවමිනි. ඒ රයිනි පමණක් මිහිමත ඉතුරු කර ඈ ආදරෙන් බලාගත් නිවසේ වුන් සියල්ලෝම පණ පිටින් මිහිදන්ව සිටි නිසාය.

අවධානම් තැනක් ලෙස 2018 වසරේ නම් කර තිබියදීත් මහා ගල් පර්වතයක් වූ දෙවනගල පාමුලේ ඒ වනවිටත් පවුල් කී පයක් පදිංචිව සිටියහ. උමේෂලාගේ පවුලත් ඉන් එකකි. මේ පවුලේ සාමාජිකයන් සිව් දෙනෙක් වූහ. තාත්තා පනස් හත් හැවිරිදි කංකානමලාගේ විජේරත්නය. ඔහු කලක පටන් පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කළේය. අම්මා පනස් පස් හැවිරිදි ලලිලා වීරසිංහයි. උමේෂා මධුවන්ති විජේරත්නට වයස අවුරුදු විසි තුනකි. අයියා වූ ශානික වියදම් කරමින් හොඳින් ඉගැන්වූ නිසා ඇයට පෞද්ගලික පාසලක උගන්වන්නට පුළුවන් විය. එමෙන්ම ඈ ඒ වනවිට ප්‍රේමවන්තියක වී ද සිටි අතර ඊට පවුල් දෙකෙහිම ආශිර්වාදය ද ඔවුන්ට ලැබී තිබුණි. උමේෂාගේ පෙම්වතා අරනායක ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

ඒ වන විට පවුලේ බර කරට ගෙන සිටියේ උමේෂාගේ අයියා වූ විසි නව හැවිරිදි ශානක පුෂ්ප කුමාරය. ඔහු වසර කීපයකට මාලදිවයිනට ගියේය. පසුගිය මාසයේ ලංකාවට පැමිණ ගෙදර ආවේ දෙසතියක කාලයක් නිරෝධායනයට ද ලක් වීය. ශානික නිවසට පා තැබූ ගමන් නිවසට මීටර් දෙසියයක් පමණ දුරින් වූ ඉඩමේ අලුත් ගෙදර වැඩ අවසන් කරන්නට පටන් ගත්තේය. ඒ වන විටත් ලක්ෂ පනහක පමණ මුදලක් යට කර ගොඩ නංවා තිබූ නිවසේ වැඩ කටයුතු තිබුණේ අවසන් අදියරේය. ඊළඟ මාසයේ යළි විදේශගත වන්නට පෙර මේ නිවසේ වැඩ කටයුතු නිම කර අම්මා, තාත්තාත් නංගීත් එහි පදිංචි කරවා යෑම ඔහුගේ එකම බලාපොරොත්තුව විය.

මරුවා අරක්ගත් ඒ බිහිසුනු රිත්‍රියේ මේ සියලු දෙනා සුව නිනිදේ පසුවෙද්දී නිවසේ ඉදිරිපස කූඩුවේ වූ ‘ රයිනි’ සිටියේ නිදි නැතුවය. කූඩුවක සිටියත් රයිනිට ඕනෑ වෙලාවක ඒ කූඩුවේ දොර ඇරගෙන එළියට යාමට හැකියාව තිබුණේය.

දවස උදා වෙද්දී පරිසරයේ ඇතිවන්නට යන දරුණු විනාශය රයිනිගේ ඉවට දැනුණේය. ඒ නිසා මොහොතක් පමා නොවී රයිනි ඒ නිවසෙන් මග හැර තිබුණි. රයිනිට දැනුණු ඒ මහා විපත්තිය සිදුවන්නට මහා වේලාවක් ගියේ නැත.

වෙලාව උදෑසන හය පමණ වී තිබුණි. දෙවන ගල වටා ඇති විශාල පස් කන්දක් ගස්, ගල්, බොරළු, ජලය හා මුසුව පෙරළී විත් උමේෂලාගේ ගෙය තිබූ තැන සලකුණක් හෝ නොපෙන්වා වසා දැමුණේය. එය ඒ සැනින් ගමම දැනගත්තේ ඒ මොහොතේ කරම්පිටිය ගමේ පී.පේමරත්න හරකා දිගේලි කරන්නට ඒ වැස්සේම යද්දී මේ භයංකර දසුන ඇසට හසුවූ නිසාය.

“එතකොටත් වහිනවා. මම ගියේ හරකා බැඳලා හිටපු තැනින් අයි කරලා වෙන තැනක බඳින්න. ඒ ගිහින් හරකා බැඳලා තිබ්බ ඉන්න වෙන තැනකට මාරු කරන්න ගලවද්දි ලොකු සද්දයක් එක්ක එක පාරටම ගස්, ගල් එක්ක පෙරළිලා ආව පස් කන්දක් හිතන්නවත් බැරි වේගයකින් පෙරළාලා ආවා. මට මොකුත් හිතාගන්න බැරිවුණා. ඒත් විජේරත්නලාගේ එතැන තිබ්බ ගේ පේන්නවත් තිබ්බෙ නෑ…”

ඒ සිද්ධිය ගමේ තවත් අයට කී පේමරත්න ගම්මුන් හා එහි ආවේ ඒ නිවසේ කාටත් කරදරයක් නැතුව ජීවත් වූ මිනිසුන්ගේ ජීවිත බේරා ගන්නටයි.

ඒත් ඒ ජීවිත බේරනවා තියා ඔවුන් මිහිමත සැඟව ගියේ කොතැනදැයි කියා සිතා ගන්නවත් බැරි තරමට ඒ පළාතම පස්, ගල්, බොරළු සහ ගැළවී විත් තිබූ ගස්වලින් වැසී තිබුණි. නිවසේ සාමාජිකයන් සියල්ලෝම ගෙයත් සමග පස් යට මිහිදන් වූවත් නිවසේ හැදුණු රයිනි පසින් වැසී ගිය භූමිය පුරා අමුතු හඬක් නගමින් දුවන අයුරු ගම්වැසියන්ට පෙනිනි.

” පුදුමයි.. බල්ලා බේරිලා.. ”

සතා දුටු අයෙක් කීවේය.

” සත්තුන්ට ඔය ස්වභාවික ආපදා කලින් දැනෙනවා කියනවනේ.. ඌ පනින්න ඇති..”

තවත් අයෙක් කීවේ වැහි පොද මැද්දේ තෙත පස්වලට හොම්බ තද කරමින් එහා මෙහා දුවන රයිනි දෙස බලාගෙනමය.

” බල්ලා එයාගේ ගෙදර මිනිස්සු හොයනවා. ”

රයිනිගේ හැසිරීම දෙස එසේ අනුකම්පාවෙන් බැලුවන් සේම රයිනිගේ හැසිරීම කරදරයක් කොට සතා එතැනින් එළවා දමන්නට වෙහෙසුණ ගම්වැසියෝද වූහ.

මොහොතකින් ප්‍රදේශයේ පොලිස් මුරපොළෙහි පොලිස් නිලධාරීන් ද රාජ්‍ය නිලධාරීන් ද ගම්වැසියන් හා මිහිදන් වූවන් සොයන මෙහෙයුමට එක්වෙද්දී කෑගල්ලේ හමුදා කඳවුරෙන් ද තොරතුර ලද සැනින් කණ්ඩායමක් පැමිණියහ. ඒ මොහොතේම වාගේ උමේෂාගේ පෙම්වතා එහි පැමිණියේ සිදුව ඇති විපතේ ආරංචිය අසා මුත් නිවසක් තිබූ තැනක සලකුණක් හෝ සොයාගන්නට බැරි ඒ සා විපතක් බලාපොරොත්තුව නොවේ.

මිහිමත පණපිටින් වැළලී සිටින සිය ආදරවන්තිය ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්ගේ තත්ත්වය ගැන සිතෙද්දී පපුව හිරවී යන දුකක් දැනෙද්දී ඒ දුක බෙදා ගන්නට සේ රයිනි තරුණයා වෙත දිව ආවාය. උමේෂාගේ නිවසට නිතර ආගිය නිසාම රයිනි හොඳින් ඔහු අඳුරන්නීය. එමෙන්ම මීට මාස පහකට හයකට කලින් අරනායක ඔහුගේ ගම් ප්‍රදේශයෙන් රයිනි මේ නිවසට ගෙන එන ගමනට ඔහුත් සම්බන්ධ වුණේය.

තරුණයා ළඟට දිව ආ රයිනි ඔහුගේ ඇඟට ඉදිරිපස දෑත් තබා දෙකකුලින් හිටගෙන විලාප නගා කෑ ගැසුවේ එතෙක් කිසිවෙකුත් නෑසූ රයිනිගේ දුක ඔහුට කියන්නට මෙනි. ඊටත් වඩා දුකක් ඒ වනවිට පපුවේ හිර කරගෙන සිටි තරුණයා කිසිත් නොකියා රයිනිව තදින් අල්ලාගෙන සතාගේ හිස පිරිමැද්දේය.

රයිනිගෙන් හෝඩුවාවක්

එසේ දුක බෙදා ගත් රයිනි එහි කනින බැකෝ අතරින් මිනිසුන් අතරින් කිසිවෙකුගේත් අවධානයක් නැති තැනකට ගොස් වේගයෙන් දෑතින් පස් පහුරු ගාන්නට ගත්තේය. ඒ වනවිටත් මිහිදන් වූවන් ගැන හෝඩුවාක් නොවූයෙන් රයිනි දෙන්නේ හෝඩුවාවකැයි සිතූ හමුදා කණ්ඩායම් එතැන පස් ක්‍රමානුකූලව ඉවත් කරන්නට ගත්තේය.

පුදුමය එයය. රයිනි කී හෝඩුවාව හරියටම හරිය. උදේ පටන් රයිනි මේ පණිවුඩය බොහෝ දෙනෙකුට දෙන්නට උත්සාහා කළත් කිසිවෙකුත් රයිනි ගණන් නොගත් නිසා ඒ පණිවුඩය මගහැරී ගොස් තිබුණි. වහ වහා හමුදා කණ්ඩායම ගම්වැසියන් හා එක්ව මිහිදන් වූ මිහිමතින් ගොඩට ගන්නා විටත් සිව් දෙනම නොඑන ගමන් ගොස් තිබුණි.

රයිනිගේ දුක්මුසු ඉරියව් දෙස අන් කාටත් වඩා බලා ඩිටින්නට බැරි වූයේ උමේෂාගේ පෙම්වතාටය. කාත් කවුරුත් නැතුව දුකින් වැළපෙන රයිනි ඒ පොළවේ දමා එන්නට තරුණයාට සිතුණේම නැත. ඒ නිසා ඔහු එතැනින් යන විට රයිනි රැගෙන ගියේය.

” ඉන්පස්සෙ කතාව ගියේ රයිනි කෑගල්ල හමුදා කඳවුරට අරන් ගියා කියලා. හමුදා කඳවුරට නෙවේ රයිනි අරන් ආවේ, අපේ ගෙදරටයි. එයා හරි පව්. පුදුම දුකකින් ඉන්නේ. සත්තු තමන්ව ආදරෙන් බලාගන්න මිනිස්සුන්ට කොච්චර ආදරේද කියලා රයිනිම සාක්කියක්. ගෙදර ගෙනාව මුල් දවස්වල කෑමවත් කෑවෙ නෑ. දුකෙන් එක තැනකට වෙලා බලාගත්ත අත බලාගෙන හිටියා. හරියට කවුරුහරි එනකල්වගේ පාර බලනවා. අපේ ගෙදරත් බල්ලෙක් හදනවා. එයත් එක්ක යාළුවුණාට පස්සෙ ඒ දුක ටික ටික නැතිවෙලා යයි. “

ඒ තරුණයාගේ සෝබර හඬයි.

” මෙයාට තවම මාස හතයි. ගෙදර අය හරි ආදරෙන් තමයි හැදුවෙ. මමත් වේදනාවෙන් ඉන්නෙ. ඒ සිද්ධිය මට මහා කම්පනයක්. ජීවත්වෙලා ඉන්නතාක් කල් ඒ කම්පනය මට තියෙයි. සතත් වේදනාවෙන් ඉන්නේ. දැන් ටික ටික අපේ ගෙදර පරිසරේට එයා හුරුවෙනවා. මම සමාජ මාධ්‍යයකවත් රයිනි ගැන පෝස්ටුවක් යන්න ඉඩ නොදී ඉන්නේ එයාට මම ගොඩාක් ආදරේ නිසයි. උමේෂා හදපු හින්දා නෙවෙයි මං මේ කියන්නෙ. රයිනි කියන්නේ හුඟක් හොඳ ගතිගුණ තියෙන සතෙක්. අදටත් තාමත් එයාගෙ ඇස්වල දුක තියෙනවා. මග බලනවා. මට රයිනිගෙ ඒ වෙනස තේරෙනවා. ඒ දවස්වල නිතරම මට උමේෂගෙ ගෙදරදි රයිනි හමුවූ නිසා එයාගෙ වෙනස හොඳින්ම මට දැනෙනවා.”

රයිනිගේ ඒ හොඳකම ඔහු පමණක් නොව උමේෂලා ඇසුරු කළ ගම්වැසියන් ද දෙවනගල රජමහ විහාරයේ විහාරාධිපති මැදිරිගියේ පඤ්ඤසාර හාමුදුරුවන් ද සනාථ කළේය.

” මම ඒ අවස්ථාවේ දුටු සංවේදී දසුන මගෙත් හද කම්පා කළා. අද වෙනකොට පිරිහෙමින් යන මේ සමාජේක මේ සත්වයා ලබා දුන්න ආදර්ශය බොහෝ මිනිස්සු ළඟත් නෑ. මේ සතාට ඒ ගෙදර අය දුන්න ආදරේට රැකවරණයට, දුන්න බත් පතට ගුණේ තමයි ඒ අවසන් මොහොතේ පෙන්නුවේ. ඒ මොහොතේ සතා පැනලා ගියේ සොබාදහම සත්තුන්ට තාමත් දැනෙන නිසා. වැස්සක් එද්දි මිනිස්සුන්ට නොදැනුනාට සත්තු කී දෙනෙකුට දැනෙනවද බලන්නකො. සොබාදහමෙ පණිවුඩේට අනතුර මග ඇරලා ගිහින් බේරුණාට සතාට හිතෙන්න නෑ නිවසේ අයට ඒ අනතුර මෙහෙම විපතක් කරයි කියලා. ඒකයි ඒ වැස්සෙ වැටිච්ච පස් කන්ද පීරමින් අඬමින් තමන්ගෙ ආදරණීයන් හෙව්වෙ. රයිනි පෙන්නුවේ අපිට තිරිසන් සත්වයින්ගෙන් ඉගෙන ගන්න ඕන පාඩමක්..”

සමාජ මාධ්‍යවල ඒ දිනවල සංසරණය වූ රයිනිගේ බොහෝමයක් පින්තූර විහාරාධිපති හාමුදුරුවන්ගේ ජංගම දුරකතනය මගින් සංවේදී වූ හදවතින් ගත් ඡායාරූපයි. කුලියට හිඳ ඒ නිවෙස් හැරදා යද්දී ගෙදර හදපු බල්ලා ගෙන නොයා අතහැර දමා එන මිනිසුන් සිටින සමාජයක රයිනිට අහිමිවී ගිය නිවැසියන් සිටි නිවස වැනිම නිවසක් ලබන්නට තරම් ඒ ගුණයහපත්කම වාසනාවක් වුණේය.

තමන් විවාහ වන්නට සිටි ආදරවන්තිය දෛවයේ නපුරුම දඬුවමකට හසුවී දිවියෙන් සමුගෙන ගියේ ඒ තරුණයාගේ දුරකතනයේ වූ ඇගේ සේයා රූත් ලියූ දේවලුත් හැර ඈ පිළිබඳ කිසිදු මතක සිහිවටනයක් මිහිමත නොතබාය. ඈ තබා ගියේනම් ඒ රයිනි පමණි. ඒ නිසාම ඈ ආදරයෙන් හැදී රයිනිව ඒ ආදරෙන් ජීවත්වනතුරා බලාගන්නට ඔහු උමේෂාගේ නාමයෙන් හදවතට ගිවිස සිටින්නේය.

සමන් විජය බණ්ඩාර – මාවනැල්ල


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close