free statistics
සියලු රාජ්‍ය සේවකයන් එක්වී කටයුතු නොකළොත් රටේ විනාශය වළක්වන්න බෑ

සියලු රාජ්‍ය සේවකයන් එක්වී කටයුතු නොකළොත් රටේ විනාශය වළක්වන්න බෑ


කොරෝනාවෛරසය රට තුළ තව තවත් ව්‍යාප්ත වුවහොත් සහ සෞඛ්‍ය අංශ සමග සියලු රාජ්‍ය සේවකයන් එක්ව කටයුතු නොකළහොත් සෞඛ්‍ය, ආර්ථික සහ සමාජීය වශයෙන් විශාල අර්බුදයකට ලක්ව රට විනාශයට පත්වීම වැළැක්විය නොහැකි යැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අනතුරු අඟවයි.

වෛරසය ව්‍යාප්තිය මැඬලීමේ කටයුතු රජයට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් කළ නොහැකි බැවින්, සෞඛ්‍ය සේවාවට අමතරව රජයේ අනෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී සියලු රාජ්‍ය නිලධාරීන් ප්‍රමුඛත්වය ගත යුතු බවත්, මෙම ජාතික ව්‍යසන අවස්ථාවේ සෞඛ්‍ය සේවාව සමග සියලු රාජ්‍ය සේවකයන් අත්වැල් බැඳගත යුතු බව ද සෞඛ්‍ය ඇමතිවරිය අවධාරණය කරයි.

කොවිඩ් රෝගය ව්‍යාප්තියේ ඉහළ යෑමක් පෙන්නුම් කරන රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර සේවා සපයනු ලබන රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල වත්මන් තත්ත්වය සහ අවශ්‍ය භෞතික හා මානව සම්පත් පිළිබඳව සොයාබැලීම සඳහා වූ රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අධ්‍යක්ෂවරු, වෛද්‍ය අධිකාරිවරු, විශේෂඥ වෛද්‍යවරු සහ ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට සහ දිස්ත්‍රික්කයේ රෝහල්වල කරන ලද විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරිය එසේ සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමතිවරිය මෙසේ ද කීවාය.

“රත්නපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගීන් ඉහළ යාම ශීඝ්‍රයෙන් වෙනවා. එබැවින් ගත යුතු පියවර සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල පහසුකම් ඉහළ නැංවීම, කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල් පහසුකම් ඉහළ නැංවීම අරමුණු කරගෙන මෙම විශේෂ සාකච්ඡාව සහ නිරීක්‍ෂණය කිරීමට කටයුතු කළා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සහිතව රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ලබාදීමට කටයුතු කිරීමට අදාළ නිලධාරීන්ට මම උපදෙස් දුන්නා. එමෙන් ම රෝහල්වලට අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ද කටයුතු කළා. දිස්ත්‍රික්කයක් ලෙස මෙම අවස්ථාවේ අප කටයුතු කළ යුතු ආකාරයත් සාකච්ඡා කළා. සියලු රාජ්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවාව සමඟ එකට එක්ව තමන් සේවය කරන දිස්ත්‍රික්කය කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු වෙනවා. එය සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමක්.

ජාතික ව්‍යසනයක් බවට පත්ව ඇති කොරෝනාවෛරසය මර්දනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට පමණක් කිරීමට පුළුවන්කමක් නැහැ. සමස්ත රාජ්‍යයේ ම එකතුවෙන් එය කළ යුතු වෙනවා. කොළඹ ඉඳන් මෙම රෝගය මර්දනය කිරීම පහසු කාර්යයක් නොවී සියලු අංශ එකට එක්ව ඒ ඒ දිස්ත්‍රික්කවල රෝගය පාලන කටයුතු කළ යුතු වෙනවා. අද ඒ පිළිබදව මෙම දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. ඔවුන්ට ඒ පිළිබඳ අවබෝධය ලබාදුන්නා. එම සංකල්පය මුළු රටට ම දීමට කටයුතු කරනවා.”

ජේ.ටී. ද සිල්වා – MB


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close