free statistics

අතරමං සුරතලෙකුට ආදරය පුද දී ජීවිතයට සමුදුන් රත්තරන් දියණිය


මා දරුවන් දෙස බලන්නට වඩාත් ආශාවක් දක්වන්නේ ඔවුන් නින්දේ පසුවන විට දීය. එවිට දරු පැටවුන්ගේ දසුන වඩාත් සුන්දරය. ජීවිතයේ කවදාවත් ම නුදුටු තරමේ ලස්සන මල් නිදහසේ පිපී තිබෙන විලාසයක් එහි තිබේ. ලෝකයේ සොඳුරු ම දසුන් තෝරන්නට අවස්ථාවක් ල‍ෙදාත් නින්දේ පසුවන දරු පැටවුන්ගේ මුහුණු තරම් හදවත් පැහැර ගන්නා වෙනත් සොඳුරු දසුනක් නැතැයි ඔබට සිතෙනු ඇත.

එහෙත් මවුපියන් ජීවත්ව සිටියදී විවිධ අනපේක්ෂිත විපත් නිසා දරුවන් සදහට ම නින්දට යෑම පිළිබඳව නම් සිතීමත් අසීරුය. ඒ ගැන ඔබේ හදවත ඔබට කියන වේදනාව මොන තරමේ එකක් ද? අම්මා තාත්තා දිවමන්ව සිටියදී දරුවන් අවසන් ගමන් යනු දකින්නට සිදුවීම තරම් ඉසිලිය නොහැකි හද ගින්දරක් මේ ලෝකයේ තවත් තිබේ ද?

මා මේ වචන කිහිපය ඔබට ලීවේ මීට ටික ‍දොහකට පෙර එවැනි වේදනාබර කතාවකින් අපේ හදවත් වෙළී ගිය නිසාය.

මුළු ලොව බිලියන 7කට වැඩි ජනතාවක් එක ම වෛරසයක් විසින් බරපතළ පරීක්ෂණයකට ලක්කරනු ලැබ ඇති බිහිසුණු වසංගත කාලයකි අප මේ ගෙවමින් සිටිනුයේ. ඉතින් මරණය පිළිබඳ මේ තරම් ගැඹුරින් මෙන් ම සුලබව කතා කළ යුගයක් අප දන්නා ඉතිහාසයක නොතිබූ තරම්ය. එහෙත් මිනිස් වර්ගයාගේ සතුට සහ අනාගතය වන දරුවන් රැකගැනීම සහ ඔවුන් පිළිබඳ අවධානයෙන් පසුවීම තරම් තවත් දෙයක් ඇද්ද? මේ ලියැවිල්ලේ අරමුණ ම ඒ වෙනුවෙන් වැඩිහිටියන්ගේ පමණක් නොව එවැනි කාරුණික සංවේදී දරුවන්ගේ ද හදවත් අවදි කිරීමය.

සතුන්ට ආදරය දැක්වීම හොඳ දෙයකි. තමන්ට යුක්තිය හා සාධාරණත්වය ඉල්ලා සටන් කළ නොහැකි, තමන්ගේ දුක, කුසගින්න, වේදනාව කියාගන්නට බැරි අසරණ සතුන් වෙනුවෙන් දයාව දැක්වීම හොඳ දෙයකි. හොඳ යහපත් මිනිස් ගතියකි. මේ දියණියට ජන්මයෙන් ම තිබුණේ ඒ උත්තරීතර ගුණයය. එහෙත් එය ම අවුරුදු 14ක් වැනි සුන්දර වියේදී ඇගේ ජීවිතය අවසන්වීමට හේතුවක් විණැයි කෙසේ නම් සිතන්න ද? එහෙත් එය සිදු වී තිබේ.

කොළොන්නාව බාලිකා විද්‍යාලයේ සිසුවියක වූ හංසනී ඔල්ගා ජයවීර දියණිය පුංචි කාලයේ පටන් ම පූස් පැටවුන්ට, බලු පැටවුන්ට දැඩි ලෙස ආදරය කරන්නියක වූවාය. ඔවුන් ඇති දැඩි කරන්නට ද සුරතල් කරන්නට ද උන්ගේ විපත්වලදී පිහිට වන්නට ද තරමේ සතුන් කෙරෙහි ඇය දැක්වූ කරුණාව මහත් වූ එකක් විය.

“අම්මෙ මම කවදා හරි පශු වෛද්‍යවරියක් වෙලා සත්තුන්ට පිහිට වෙනවා,” දියණිය බොහෝ විට සිය මවට කියන අවස්ථා තිබිණ.

“දුව හොඳට ඉගෙන ගන්නකො. එතකොට ඩොක්ටර් කෙනෙක් වෙලා සත්තුන්ට ගොඩාක් පිහිට වෙන්න පුළුවන්…” කොළඹ ඩී. ඇස්. සේනානායක විදුහලේ ගුරුවරියක වන අම්මා නිල්මිණී ජයවීර මහත්මිය ඒ ගැන සිහි කරන්නේ වේදනාව පිරි හදවතිනි.

දැන් ජීවත් වන හේනේගම, වැලිවේරිය නිවෙසේ පදිංචියට එන්නට පෙර හංසනීලා සිටියේ කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේය. ඇය සතුන්ට කොයි තරම් ආදරය කළේ දැයි කියනවා නම් ඒ බව දන්නා සමහර මිනිසුන් ඇගේ ගෙදර ගේට්ටුවෙන් අසරණ සතුන් ඇතුළට දමා යන අවස්ථා තිබිණ. ඒ ඇය උන්ට පිහිට වන බව දන්නා නිසාය. පසුගිය කාලයේ ඇය එවැනි ලස්සන පූස් පැටවෙකු ඇතිදැඩි කරමින් සිටියාය. උගේ බෙල්ලේ රිබන් පටියක් ගැටගසා කිරි පොවමින් උගේ හැඩ බලමින් සුරතල් කරමින් උන්නාය. හදිසියේ මේ සතා අතුරුදන් විය. සුරතල් බළල් පැටවෙකු වූ මේ සතා කිසියම් කෙනෙකු විසින් සොරාගෙන ගොස් තිබිණ. ඇය මේ ගැන මහත් වේදනාවෙන් අඬමින් සිටි බව මව කියන්නීය. මේ සිදුවීම වූයේ ඔය අතරය.

පසුගිය අප්‍රියෙල් 16 වන දා මේ පවුලේ එක ම දියණිය හංසනී සිය අම්මා තාත්තාත් අයියලා දෙන්නාත් සමග පුත්තලම පැත්තේ ඥාති ගෙදරක ගියේ සිංහල අවුරුද්ද වෙනුවෙනි. ඒ එන අතරමග ඔවුන් හලාවත පොදු වෙළෙඳපොළට ගියේ ගෙදරට අවශ්‍ය කළමනා ටිකක් මිලදී ගැනීමටය. ඔය අතරේ කවුදෝ කෙනෙකු බලු පැටවෙකු ගෙන යනවා හංසනී දුටුවාය. පූස් පැටියා නැතිවුණු කාන්සියෙන් සිටි හංසනීට මෙය මහත් අස්වැසිල්ලක් විය. අම්මාට පෙරැත්ත කළ ඇය අර බලුපැටවා ගත්තේ කොහෙන්දැයි ඒ පුද්ගලයාගෙන් විමසුවාය. හලාවත පොදු වෙළෙඳපොළේ මුල්ලක බලු පැටවුන් කීපදෙනකු බිහිකර තිබිණ. එහි සිටි ආරක්ෂක නිලධාරියාගේ ද උදව්වෙන් ඇය බලු පැටවුන් දෙදෙනෙකුම ගෙදර ගෙන ආවාය. ඒ වන විට උන්ගේ වයස සති 3ක් විය.

සුදු පාට සතාට ‘රොකී’ යනුවෙන් ද කළු පාට සතාට ‘මැක්ස්’ යනුවෙන් ද හංසනීගෙන් නම් ලැබිණ. හොඳින් උණුසුමට පොරවා කිරි පොවමින් හිස අතගාමින් ඇය උන් සමග සතුටින් උන්නාය. පශු වෛද්‍යවරයෙකු ළඟට ගෙන ගොස් මූලික සත්කාර සිදුවිය. එහෙත් ජලභීතිකා එන්නත් විදීමට සතුන්ට සති 6ක් සම්පූර්ණ විය යුතුය.

මේ දිනවල දරුවන්ට පාසල් නැත. අමතර පන්තිවලට ගෙදරින් පිට යන්නේ ද නැත. යහළු යෙහෙළි ඇසුර අල්ලාප සල්ලාප ද වෙන දා වගේ නැත. දරුවන්ගේ පවා සිත් සතන් හුදෙකලා කනස්සල්ලකින් පිරී ගොස්ය. හංසනීගේ තාත්තා ද දැන් කලක සිට සුළු ආඝාත තත්ත්වයකින් පෙළෙමින් ප්‍රතිකාර ලබයි. ඒ හැඟීම් සමඟ කොහොමත් සතුන්ට ආදරය දක්වන දුවක් විශේෂයෙන් ම මේ සුරතලුන්ට ළංවීම ස්වාභාවිකය. ගුරුවරියක වූ අම්මා මේ තත්ත්වයන් තේරුම් ගෙන දරුවාට අනුග්‍රහය දැක්වූවාය. එහෙත් අවාසනාව ඒ පසුපස රහසේ ආවේය.

සුදු පාට බලු පැටවා ‘රොකී’ අසනීප ගතියක් පෙන්වන්නට වූයේ ඔය අතරය. කෑම කෑවේ නැත. කිරි බිව්වේ නැත. හංසනී දුකට පත් වූවාය. මේ දිනවල සංචරණ නීති නිසා දන්නා කියන පශු වෛද්‍යවරයෙකුගෙන් ජංගම දුරකථනයට බෙහෙත් ලියවා ගෙන ඒවා ගෙනත් දුන්නාය. එහෙත් රොකී සුවයක් ලබන පාටක් නැත. මේ තත්ත්වයෙන් දියණියත් වේදනාවට පත්වන බැවින් පශු වෛද්‍යවරුන් දෙදෙනකු ළඟට ම යන්නට අම්මාට සිදුවිය. වැලිවේරියේ සිට කඩවත පශු වෛද්‍යවරයෙකු වෙත සුරතලා රැගෙන ආවේ දිනක් රාත්‍රි 10.00ට පමණය. ඔහු පණු බෙහෙත් දුන්නේ ය. මැක්කන් නිසා වෙන්නට ඇති යැයි පවුඩර් වර්ගයක් ද නියම කෙරිණ. මේ ප්‍රතිකාරවලින් ද රොකීට සුවයක් ලැබුණේ නැත. දරුවාගේ ආදරය නිසා අම්මා ඇයත් සමග දිනකට දෙවරක් උදේ සවස වෛද්‍යවරයා වෙත සතා රැගෙන ආවාය. එන්නත් දුන්නේය. ඔක්සිජන් පවා දුන්නේය. එහෙත් පලක් නොවිණි. මැයි 1 වන දා ‘රොකී’ අවසන් හුස්ම හෙළුවේය.

කළු පාට සුරතලා ‘මැක්ස්’ ගෙදර සිටිය ද හංසනී දියණිය ‘රොකී’ වෙනුවෙන් මහත් දුකින් හඬා වැටුණාය. අම්මා ද හැඬුවාය. මොනවා වුණත් දෙදෙනා ම කාන්තාවන් නිසා සුරතල් සතුන්ට ආදරය වැඩිය. සියුම්ය. සංවේදීය. වේදනාව දැනෙනවා වැඩිය. සතාගේ දේහය ගෙදර ගෙනාවේය. ආදරය සහ ගෞරවය ඇතිව ‘රොකී’ මිහිදන් කෙරිණ.

සති දෙක තුනක් ගෙවී ගියේය. හංසනී දියණිය අසනීප ගතියක් පෙන්වූවාය. විටින් විට එන හිසේ කැක්කුමක් ද උණ ගතියක් ද මතු විය. උගුරේ වේදනාවක් තිබිණ. කෑම කන්නට නොහැකි විය. වසංගත කාලයක් බැවින් නොයෙක් සැක මතුවීම ස්වාභාවිකය. එහෙත් එවැන්නක් නැත. මිය ගිය බලු පැටවාගෙන් යම් ආසාදනයක් විණැයි සිතුව ද කිසිදු සපාකෑමක් හෝ සීරීමක් වත් සිදුවූයේ නැතැයි දියණිය කීවාය. බියමුසු සැකයකින් අම්මා ද දුවගේ අත පය පරික්ෂා කළාය. කිසිදු සලකුණක් නැත.

හංසනී දියණිය නිරෝගී දැරියකි. ඉගෙනුමට ද සමත්කම් දක්වන අතරම චිත්‍ර ඇඳීමට ද නැටුමට ගැයුමටද හපනියකි. මේ හදිසි අසනීප ස්වාභාවය කුමක් ද? දරුවකු රෝගී වීම, පීඩාවට පත්වීම තරම් මවකට පියෙකුට ඉසිලිය නොහැකි කිසිවක් නැත. වෛද්‍යවරයෙකු වෙත ගෙනගොස් කීප විටක් ප්‍රතිකාර ගත්ත ද හොඳ සුවයක් නොවිණි.

ජූනි මුල් සතිය වන විට දරුවාගේ තත්ත්වය උග්‍ර අතට හැරිණ. වසංගත තත්ත්වය ද තිබෙන බැවින් දුම් වාෂ්ප අල්ලන්නට හැදුව ද එසේ කරන්නට එපා යැයි ඇය කීවේ වේදනාවෙනි. “මට හුළං වදින කොට අමාරුයි අම්මේ… ෆෑන් ඕෆ් කරන්න… හුස්ම ගන්න බෑ… උගුර හිර වෙනවා…” සියුමැලි දැරිය කෙඳිරි නඟන්නට වූවාය. අම්මා නිල්මිණි ජයවීර මහත්මිය එය සිහි කරන්නේ වේදනාබර දුබල හඬිනි.

“ජූනි 7 වන දා රාත්‍රියේ දුවට හොඳට ම අමාරු වුණා. අපි 8 වන දා උදේ ම රදාවාන රෝහලට ගියා. ගෙදරින් යනකොට අපි කිසි ම දෙයක් දැනගෙන හිටියෙ නෑ. දුවම අමාරුවෙන් ගිහින් කාර් එකේ වාඩිවුණා. රදාවානෙන් ගම්පහ මහ රෝහලට යැව්වා. 2 වාට්ටුවට ඇතුළත් කළා. මමත් ළඟ හිටියා…එහෙදි තමයි ජලභීතිකා රෝගය බවට වෛද්‍යවරු අනුමාන කළේ.

“මට මොනව ද වෙනවා. ඔළුව ගොඩක් කැක්කුමයි. හුළං වදින්න බෑ අම්මෙ. මට නිදා ගන්න ඕන… දුව කියනවා. එයාව බලන්න අයියලා දෙන්නට එන්න කිව්ව. අයියලා දෙන්න ආව. ඒ දෙන්නගෙ අතඅල්ලන් මුහුණු බලා ගෙන හිටියා. ඔය අතරෙ අපේ ඉස්කෝලෙ ටීචර්ලා දුව වෙනුවෙන් සෙත් පතලා පිරිත් කිව්ව. ඒක එයාට මම ඔන්ලයින් පෙන්නුවා.. අම්මෙ මිනිස්සු මැරෙන්න යනකොට පිරිත් දාන්නෙ ඇයි අම්මෙ…? දුව මගෙන් ඇහුවා. මම කිව්ව ටීචර්ස්ලා පිරිත් කියන්නෙ දුවට සෙත් පතලා දුව බය වෙන්න එපා කියලා…”

“පහුවදා 9 වන දාත් මම ළඟ හිටියා. මගේ ඇඟ මොනවද වෙනවා අම්මෙ… අම්මා මගේ ළඟින් ඉන්න… කොහෙවත් යන්න එපා… මගේ අත තදින් අල්ලගෙන හිටියා. අනේ ඒ වෙලාවෙ මගේ දුව මගෙන් ඇහුවා අම්මෙ මම මැරෙයි ද අම්මෙ…” කියලා.

ඒ වදන දරුවෙකුගේ මුවින් පිටවනු ඉසිලිය හැක්කේ මොන අම්මා කෙනෙකුට ද? ඊට වඩා යමක් ඇගෙන් අසන්නට මට බැරිය. ඇය ඉකි බිඳින්නට වූවාය. එය ඉවැසිය නොහැකි මහා වර්ෂාවක් මෙන් මට දැනෙන්නට විය. උතුරා යන දරු සෙනෙහස, අහිමි වීම, වෙන් වීමේ වේදනාව ඒ වර්ෂාවේ දෝර ගලා යනු මට දැනිණ.

මිය ගිය සුදු පාට බලු පැටවා ‘රොකී’ ගේ අසනීපයට කළ බෙහෙත් පිළිවෙළට සටහන් කරමින් දියණිය ලියූ පුංචි පොත තවමත් ගෙදර පැත්තක තිබේ. තම සොහොයුරා අතින් මේ දියණියට වරදක් සිදුවූ බව කිසිත් නොදත් කළු පාට බලු පැංචා ‘රොකී’ ගෙදර නිදැල්ලේ තවමත් සුරතල් වෙයි. ඒ මතකයන් සමග මේ අම්මා ජීවත් වන්නේ කෙලෙස දැයි ඔබට සිතා ගන්නට පුළුවන් ද? ජීවිතය හරි පුදුමය.

මහා අනෝරා වැසි සමයකට මැදිව කොයිතරම් නම් පීඩා වින්ද ද මලක් සිය සුවඳ හෝ පැහැය අත් නොහරින්නීය. අම්මාගේ ආදරය ද සෙනෙහස ද වේදනාව ද ඒ වගේය. ඉන් මිදී ඇයට සමු දෙන්නට පෙර ඇය අස්වසන්නට අසමත්ව මා යම් යම් දේ ඇයට කියූ බව පමණක් මට මතකය. එහෙත් ඒවා ඇයට ඇසුණා දැයි මම නොදනිමි.

– තිස්ස කොරතොට MB


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close