free statistics

පොලිස් ලොක්කාගේ බිරිදට සංචරණ සීමා කඩන්න ඉඩ නොදුන් කොස්තාපල්ට විනාඩියෙන් මාරුවක්..


ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටි මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය අසලින් ගමන් කිරීමට පැමිණි කොළඹ ප්‍රදේශය භාර පොලිස් ප්‍රධානියෙකුගේ බිරියකට බාධා කළැයි කියන කොස්තාපල්වරයාව විනාඩි කිහිපයක් තුළදී කිලෝමීටරයක් ඈතින් වූ පොලිස් මාර්ග බාධකයක් වෙත මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බොරැල්ල – මරදාන මාර්ගයේ ආනන්ද විදුහල පිහිටි මංසන්ධිය අසල මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි මරදාන පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙකුට මෙම සිද්ධිය වී ඇති බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඊයේ උදේ 7.30ට පමණ පොලිස් ප්‍රධානියාගේ බිරිය නිල නිවෙසේ සිට අතුරු මාර්ගය ඔස්සේ ශාරීරික ව්‍යායාම් කිරීම සඳහා පා ගමනින් පැමිණ බොරැල්ල-මරදාන ප්‍රධාන මාර්ගය වෙත යෑමට සූදානම් වීමේදී මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයා ඇය නවතා සංචරණ නීති පනවා ඇති බැවින් එලෙස යෑමට ඉඩදිය නොහැකි බව පවසා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි. එසැණින් ම පොලිස් කොස්තාපල්වරයා දෙසට හැරුණු එම කාන්තාව පොලිස් ප්‍රධානියාගේ නම පවසමින් තමා ඔහුගේ බිරිය බව පවසා කොස්තාපල්වරයාට බැන වදිමින් එම ස්ථානයෙන් පිටවී යෑමට සූදානම් වෙද්දී කොස්තාපල්වරයා ඇය අමතා “මැඩම් නීතිය කාටත් එකයි” යනුවෙන් පවසා කරුණාකර ආපසු යන්නැයි දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදී පොලිස් ප්‍රධානියාගේ බිරිය ජංගම දුරකතනය හරහා පොලිස් ප්‍රධානියාට ඇමැතුමක් ලබාගෙන මේ බව පවසා කොස්තාපල්වරයාට ඇසෙන සේ එහි හඬ වැඩිකර කොස්තාපල්වරයා දෙසට එය දිගුකර ඇසෙන්නට සලස්වා ඇති අතර පොලිස් ප්‍රධානියා කොස්තාපල්වරයා අමතා, “මම අහවලා කතා කරන්නේ. ඔය ඉන්නේ මගේ වයිෆ් ඕයි. එයාට ජොගින් යන්න දෙනවා” යැයි උස් හඬින් පවසා තිබූ බව එම ආරංචි මාර්ගවලින් පැවසේ.

ඊට පිළිතුරු ලබාදී ඇති කොස්තාපල්වරයා “සර්. සංචරණ නීති පනවලානේ තියෙන්නේ. එතකොට ජොගින් යන අනෙක් කට්ටියට මොකද කරන්නේ. එයාලටත් යන්න දෙන්න ද?””අයිසේ ජොගින් ඇඳුම පිළිවෙළට ඇඳලා තියෙනවා නං යන්න දෙනවා” යැයි පවසා පොලිස් ප්‍රධානියා දුරකතනය විසන්ධි කර ඇත.

ඒ සමග ම පොලිස් ප්‍රධානියාගේ බිරිය සුපුරුදු ලෙස ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වී ශාරීරික ව්‍යායාම් කරමින් ගමන් කර ඇති අතර මඳ වේලාවකදී කොස්තාපල්වරයාට දුරකතන ඇමැතුමක් ලැබී ඇත්තේ වහා ම ක්‍රියාත්මක වන පරිදි පුංචි බොරැල්ල පොලිස් මාර්ග බාධකයට රාජකාරි රපෝර්තු කරන ලෙසය.

මෙම සිදුවීම තරයේ හෙළා දුටු “පොලිස් පොඩ්ඩන්” නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන්නැයි කියන හඬින් ම නීතිය අවනීතිය කිරීමට උපදෙස් ලබාදෙන මෙම පොලිස් ප්‍රධානියා සම්බන්ධව උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගැනීමත් සමග ම පැය තුනක පමණ කාලයකදී එම කොස්තාපල්වරයාව රාජකාරි සඳහා නැවත බොරැල්ල-මරදාන මාර්ගයේ, ආනන්ද විදුහල මංසන්ධියේ පොලිස් මාර්ග බාධකය වෙත රාජකාරි කිරීමට ඉඩ ප්‍රස්තාව ලබාදී තිබූ බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය. “නීතිය කාටත් එකයි. මම මේ පිළිබඳ වහා ම සොයා බලනවා.” යැයි පැවසීය.


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close