free statistics

”රට ඉන්දියාව පැත්තට ගමන් කරනවා”: ”ගතවෙමින් පවතින්නේ ඉතා වටිනා හෝරා කිහිපයක්” – GMOA


මේ වන විට ලංකාවේ කොවිඩ් තත්ත්වය ඉතා ම බරපතළ මට්ටමෙන් ඉන්දියාවේ මට්ටමට ගමන් කරන බවත් ගත වෙමින් තිබෙන්නේ ඉතා වටිනා හෝරා කිහිපයක් බවත් මෙම කාලය තුළ නිවැරදි තීරණ නොගතහොත් ඉරණම ඉතාමත් ම භයානක විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවැසුවේ, කොරෝනාවෛරස ව්‍යාප්තියේ අලුත් ම තත්ත්වය පිළිබඳව ඊයේ (මැයි 9) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ ද පැවසීය.

”මෙවර වෛරස ප්‍රභේදය පැතිර යාමේ ශීඝ්‍රතාව වැඩි නිසා නිසි ලෙස මුව ආවරණය පැළඳිය යුතුයි. යම් කෙනෙකුට වෛරසය බෝවී ඇති විටෙක රෝග ලක්ෂණ මතු වීමට දින 5ක් පමණ ගත වන හෙයින් එම කාලය තුළත් ඔහුගෙන් තවත් අයට රෝගය බෝ විය හැකි හෙයින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා ම වැදගත්.

මෙම වෛරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ නියුමෝනියා තත්ත්වයයි. සාමාන්‍ය නියුමෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මෙම නියුමෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරි ම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන් ම දැඩි සත්කාර අවශ්‍යතාව මතු වෙන්නේ එවිටයි. ම ර ණ දෙස බලද්දී වුවත් බහුතරයකට හේතුවී තිබෙන්නේ නියුමෝනියා තත්ත්වයයි. මේ නිසා සෑම පුරවැසියෙක් ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි.

දැන් තිබෙන අවදානම හා ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමර්ග සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් කිහිපයක් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දුන්නා. සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එහිදී පෙන්වා දී තිබෙනවා. ජන ඝනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත එය සිදු විය යුතු ආකාරය අපි දැනුවත් කළා. සෞඛ්‍ය හා සෙසු අංශවලට අවශ්‍ය උපකරණ හා පහසුකම් අඛණ්ඩව ලබා දීම, PCR අඛණ්ඩව සිදුකිරීම, රෝග ලක්ෂණ සහිත අය කඩිනමින් රෝහල් වෙත ගෙන යාම, රෝග ලක්ෂණ නොමැති නමුත් වෛරසය ආසාදනය වී තිබෙන අය නිවසේ සිට ප්‍රතිකාර කිරීම, සුළු වශයෙන් රෝග ලක්ෂණ තිබෙන අය වෛද්‍යවරු යටතේ ක්‍රියාත්මක වන අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීම, රසායනාගාර පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබාගැනීම ආදිය ගැන අපි යෝජනා කරලා තිබෙනවා.

කොරෝනාවෛරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන අතර දැනට ලංකාවේ භාවිත වන සියලු එන්නත් හොද මට්ටමේ ඒවායි.

හැකි තරම් කාර්ය මණ්ඩල යොදවා සියලු ම ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදු කළ යුතුයි.

මේ මොහොතේ විවිධ ඖෂධ පැණි වර්ග එන්න පුළුවන්. නමුත් නිසි සායනික පරීක්ෂණ හා නිර්දේශයකින් තොර ඒවා භාවිත කරන්න එපා. ආයුර්වේද ඖෂධයක් නම් ඒ ගැන ආයුර්වේද කොමසාරිස් හා එම වෛද්‍යවරු සමග සාකච්ඡා කරන්න ඕනේ. කොහොමත් නව ඖෂධයක් නිර්දේශ වෙන්නේ සායනික පරීක්ෂාවකින් පසුව. එම නිසා නිර්දේශ කර නැති ඖෂධ පසුපස යන්න එපා. ජනතාව මේ ගැන දැඩි සැලකිල්ලක් දක්වන්න අවශ්‍යයි. ප්‍රතිශක්තිකරණය වැඩි කර ගත හැකි ක්‍රියාකරකම් සහ ආහාර ලබාගත යුතුයි.”


Like it? Share with your friends!

0 Comments

Your email address will not be published. Required fields are marked *

close